IFS ගිය හැටි

IFS එක ගැන පෝස්ට් කීපයක්ම ලිවුවත් ඔතන මුලින්ම ලියන්න ඕන දේ තමයි කොහොමද එතනට මම සම්බන්ද උනේ කියන එක. කැම්පස් ෆයිනල් විභාගේ ලියලා දවස් දෙකෙන් රස්සාවට ගිය මට ඩිග්‍රි එක ගත්තට පස්සේ දිගටම ඉන්ඩස්ට්‍රියල් පැත්තේ ඉන්නවා මිස ආය ඇකඩමික් එන්න මට ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඔය අතරේ තමයි මම හිටපු කොම්පැනියට වැහීගෙන යන්න පටන් ගන්නේ. දැන් ඉතින් කියන්න එපා මම හිටපු නිසා තමයි ඒ කොම්පැනියත් වැහුනේ කියලා. ඔය ඉදලා හිටලා පොඩි පොඩි සිදුවීම් නම් උනා. ඒවා ලියලත් ඇති පහුගිය පොස්ට් වල.

කොහොම හරි ඔය අතරේ තමයි මම දකින්නේ IFS එකේ ඇබෑර්තු දැන්වීමක්. ඒත් මම ඉල්ලුම් කරේ නැහැ. මොකද මම හිතුවේ නැහැ මම එතනට සුදුස්සෙක් කියල.කොහොම හරි ඉල්ලුම්පත් බාර ගන්න අන්තිම දවසේ මට කතා කරනවා එක්සත් ජනපදේ ඉන්න, පන්හිදක අරුමය බ්ලොග් එක ලියන ඉරෝශා. ඒ වෙනකොටත් එයා තමන්ගේ ආචාර්ය උපාදිය පටන් අරගෙනයි තිබුනේ. ඉතින් ආගිය තොරතුරු කියන ගමන් මට කියවෙනවා අපේ කොම්පැනිය බන්කොලොත් වේගෙන යන බව. ගත් කටටම ඇය මගෙන් අහන්නේ ඇයි IFS apply කරන්නේ නැත්තේකියන එක. මගේ උත්තරේ සරලයි. “ඩිග්‍රිය ජෙනරල්“. එතනින් එහාට කතාව ලියන්න මට හරියටම මතක නෑ එයා මොනවා කියලා මට බැන්නද කියලා. සත්තු වත්තේ ඔක්කොම සත්තුන්ගේ නම් මම අහ ගත්ත බව සහ වදෙන් බේරෙන්න ඕන නිසා CV එකක් දාන්න පොරොන්දු උන බව විතරයි මට මතක. (මේ පෝස්ට් එක දාන අද උදෙත් බැන්නා කරපු වෙන ගොන් වැඩකට)

කොහොමහරි ඔන්න ටික දවසකින් එනවා ලියුමක් ඉන්ටර්විවි එන්න කියලා. මමත් ඉතින් බොහොම කැමැත්තෙන් ගියා. මොකද ගෙදර ඉදන් හූවක දුරින් තිබ්බට මම කලින් කවදාවත් අඩිය නොතියපු හැබැයි එක පාරක් හරි අඩියක් තියන්න කැමැත්තෙන් හිටපු තැනක් නිසා. සාමන්යෙන් ඉන්ටර්විවි එකක් තියනවා නම් ඒකට සහභාගි වෙන කට්ටිය ඉන්නේ IFS ලොබියේ. මට දකින්න ලැබුන ගොඩක් අය අදුරන මුනු. හැමෝම Chemistry හෝ Physics ස්පෙශල් කාරයො. මම විතරයි ජෙනරල්. ඉතින් රස්සාවේ අදහස අත ඇරලා අඩු ගානේ ඉන්ටර්විවි ෆේස් කරන විදිහ ගැන හරි experience එකක් හම්බෙනවා නේ කියලා හිත හදාගෙනඉන්ටවිවි එකට ගියා.

ගුරුතුමා සහ ගෝලයා – මම සහ ලක්ශ්මන් දිසානායක මහාචාර්යතුමා (NIFS-SEDU archives)

කලින් කියන්න අමතක උනා. මේ පුරප්පාඩුව තිබුනේ ලන්කාවේ දැනට ඉහලින්ම ඉන්න භොතික විද්‍යාඥයකු වෙන මහාචාර්ය ලක්ශ්මන් දිසානායකයන් ගේ විද්යාගාරයේ. ඉන්ටර්විවි බොඩ් එකේ එතුමාට අමතරව ඉන්නෙ මහාචාර්ය රොහාන් සේනාධීර සහ ආචාර්ය අතුල විජේසි0හ. දැන් මෙහෙම තමයි දෙබස යන්නේ.

ප්‍ර: මොනවද කරපු සබ්ජෙට්ස්

පි: Botany, Chemistry, Physics

ප්‍ර: මොනවද කරපු අමතර සබ්ජෙට්ස්

පි: IT

ප්‍ර: මොනවද IFS එක ගැන දන්නේ?

පි: මම පොඩි කාලේ ඉදන් මෙතන පහු කර ගෙන තමයි ඉස්කෝලෙ යන්නේ

ප්‍ර: නෑ. නෑ. මම අහන්නේ IFS එකේ විස්තර මොනවාද දන්නේ කියලා.

ඒ ප්‍රශ්නේ අමාරු උනේ නැහැ. ජේ. ආර් ආන්ඩුව කාලේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසින්හ, සිරිල් පොන්නම්පෙරුම වගේ අපේ දක්ශතම පර්යේශන විද්‍යාඥයන් ගොඩනගපු IFS එක ගැන කියන්න ගොඩක් දේවල් මට තිබුනා.

ප්‍ර: මොනවද අපේ ලැබ් එකේ රිසර්ච් ගැන දන්නේ.

ඒ ප්‍රශ්නෙත් අවුලක් උනේ නැහැ. මොකද කලින් දවසේ IFS වෙබ් සයිට් එකෙන් ලැබ් එකේ වෙන රිසර්ච් ගැන මම බලපු නිසා. නොතේරුන ටික එදත් අදත් හෙටත් පිහිටට ඉන්න ගුගල් දෙයියා සහ විකිපිඩියාව නිසා පාඩම් කරන් හිටියේ. 😉

රොහාන් මුකුත් අහන්න නැද්ද? කියාලා ඔන්න දැන් ප්‍රශ්න ඇසීමේ අවස්තාව මහාචාර්ය සේනාධීරට ලබාදෙනවා. ඔන්න මෙතනින් එහාට එතුමා තමයි ප්‍රශ්න අහන්නේ.

ප්‍ර: IT කරා කිව්වා නේද? Programming පුලුවන්ද?

මම ප්‍රථම උපාදි ගන්න කාලේ අපේ විශ්ව විද්යාලේ ජීව විද්යා සිසුන්ට ප්‍රධාන විශයක් විදිහට පරිගනක විද්යාව හදාරන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට කුසලතා මට්ටමින් අමතර විශයක් විදිහට තුන්වෙනි වසර දක්වා පරිගනක විද්යාව ඉගෙනගන්න හැකියාව තිබ්බා. මට කොම්පියුටර් උන බරපතල ලෙස තිබීම නිසා තුන් වෙනි වසර වෙනකන් IT කරපු ඉතා අල්ප ස්වල්ප ජීව විද්යා ශිශ්‍ය කන්ඩායමේ මමත් හිටියා. එහෙම කියලා ඉතින් ලොකුවට programming දැනුමක් මට තිබ්බේ නැහැ.

පි: ටිකක් පුලුවන්. මම ආරක්ශාකාරිව පන්දුවට පහර දුන්නා.

ප්‍ර: හරි. ඔයාට මොකක් හරි සිස්ටම් එකක් ඩිවලප් කරන්න අපි දුන්නොත් අඩුම කාලෙකින් කොහොමද ඉවර කරන්නේ?

හුටා. දැන් මොකද්ද කියන්නේ. හරි උත්තරයක් හිතා ගන්න බැහැ. එහෙම අත්දැකීමකුත් ඇත්තේ නැහැ. බැරිම තැන මම ඇත්තම කිව්වා මෙහෙම.

පි: අපිට කාලය සීමිත නම් මුල ඉදන් system එකක් develop කරන්න අමාරුයි. ඒ නිසා දැනට තියන සිස්ටම් එකක් වෙන කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා customise කරන්න තමයි වෙන්නේ. (අපිට කොපි ගහලා පුරුදුයි නේ)

කොහොමද මෙයාගේ බාහිර වැඩ එහෙම? ඒ ප්‍රශ්නේ මට නෙවෙයි. කතාව යන අතරේ මගේ සහතික ෆයිල් දෙක පෙරලගෙන පෙරලගෙන යන ආචාර්ය අතුල විජේසිoහට.

ඒ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ සර්. ඔහු මගේ මුන දිහා බලබල හිනාවෙවී උත්තර දුන්නා.

ඔව් ඉතින්. ගොඩක් සහතික තියෙන බව පෙන්නන්න ඔන නිසා බාලදක්ශ සහතික, මියුසික් සහතික, දහම් පාසල් සහතික ඔක්කොම උස්සගෙනනේ ගියේ.

Ok එහෙනම්. Thank you ආවට. අපි එහෙනම් තෝර ගත්තොත් දැනුම් දෙන්නම්. කියලා හැමෝම අතට අත දීලා මගෙන් සමු ගත්තා. එලියට ආපු ගමන් මම කෝල් එකක් ගත්තේ ටාසන්. ඔව් ඔව්! කැම්පස් එකේදී මගේ දත් ගැලවෙන්න ගහපු එකා තමයි. ඔහු එතකොටත් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්. මම කෙටියෙන් කිව්වා මගෙන් අහපු සිස්ටම් ප්‍රශ්නේ. අනික් හැම ප්‍රශ්නෙකටම වගේ හරියට උත්තර දුන්නත් මට ඒ ප්‍රශ්නේ ශුවර් නැතුව හිටියේ. කතාව අහගෙන ඉදලා මු කිව්වා තමුසේ දුන්න උත්තරේ හරි. අපිත් මොකක් හදිස්සියක් උනොත් ඕකම තමයි කරන්නේ” කියලා. ඒ පාර මම හිත හදා ගත්තා යන්තම් guess කරලා හරි නිවැරදි උත්තරේ දී ගත්තා කියලා. ඒත් මම වැඩ බාරගන්න ලියුම ලැබෙනකන්ම හිතුවේ නැහැ මට IFS එන්න පුලුවන් වෙයි කියලා.

 

NIFS 328 විද්යාගාරයේ පරීක්ශන කන්ඩායම (NIFS-SEDU archives)

දින කීපයකින් මට වැඩ බාර ගැනීමේ ලියුම ලැබුනා. සේවා දිගු දෙකක් එක්ක IFS එකේ ගත කරපු කාලය නිම වෙනකොට ජීවිතේ සම්පුර්නයෙන් වෙන පැත්තකට කැරකිලා. Industry ජොබ් එකක් කරගෙන ඉන්න හිතන් හිටපු මම Academic වලට යොමු වෙලා විතරක් නෙවෙයි ජීව විද්යා ක්ශේත්‍රයේ හිටපු මම භොතික විද්යා ක්ශේත්‍රයට මාරු වෙලා පස් චාත්තී උපාදියකුත් එක්කම. මම M.Phill එකට ලියපු පරික්ශන නිබන්දනේ ඉරෝශාට ස්තුති කරන්න මම අමතක කරේ නැහැ. එයාගේ බල කිරිල්ල නොවෙන්නට මම කවදාවත් එතනට application එකක් එවන්නේ නැහැ. කොහොමින් හරි ඉතිහාසය නැවත ප්‍රතිනිර්මානය වෙලා මට ආයෙත් උපාදි උත්සවේ ඉවර වෙලා ගෙදර ඉන්න ලැබුනේ දවස් දෙකයි. සිරි ලන්කාවෙන් පියාඹන් ඇවිත් නතර උනේ කැන්ගරු දේසේ.

මුල්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය චායාරුපය

IFS ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය. දකුණු පැත්තේ ස්ටිකර් එක අනුව ලංකාවට ජපානෙන් ලැබිලා තියෙන්නේ මම උපන් අවුරුද්දේ.

මට මතක විදිහට අපි අන්වීක්ෂ ගැන ඉගෙන ගන්නේ 9 වසරේදී විතර. ඉතින් එතකොට ආලෝක සහ ඉලෙක්ට්‍රොන විදිහට අන්වීක්ෂ දෙවර්ගයක් තියනවා කියලා රූප එහෙම ඇඳලා නම් කරනවා. ඉතින් විද්‍යාව ප්‍රැක්ටිකල් එකට නීති කෝටියක් දාල තමයි ඉස්කෝලේ lab එකේ ආලෝක අන්වීක්ෂයෙන් බලන්න දෙන්නේ. හැබැයි ඇහැ තියලා බලනවා විතරමයි. අපිට මුකුත් සීරු මාරු කරන්නේ එහෙම දෙන්නේ නැහැ. මොකද අනික් අතට අපේ අයියලා ඕක පෝකස් කරන්න ගියොත් ඉස්කෝලේ බංකොලොත් වෙන්නේ අලුත් glass slide වලට වියදම් කරලා.

හැබැයි පස්සේ කැම්පස් ගියාමත් ඊට අමාරුයි. එක ඇහැකින් බලන ගමන් අනික් ඇහෙන් රූපේ අදින්න ඕන. අනික පොත් වල ලස්සනට ඉන්ද්‍රිකා එක්ක සෛල තිබ්බට අපි specimen එකක් හැදුවොත් පෙන්නේ සෛල බිත්තියයි රික්තකයයි විතරයි.  (ඊට පස්සේ රික්තකෙට නයෂ්ටිය කියලා නම් කරලා ලකුණුත් නෑ)

ඔහොම ආලෝක අන්වීක්ෂ එක්ක ඉඳලා මුලින්ම ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයක් හැබෑටම මට දකින්න ලැබෙන්නේ IFS ආවට පස්සේ. දැන් නම් මගේම වගේ හුරුබුහුටි ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයක් අපේ විද්‍යාගාරයේ තිබ්බට ඒ දවස් වල මේ පෞරානික අන්වීක්ෂය මම දැක්කේ සැහෙන්න අධි තාක්ෂණික දෙයක් විදිහට. ඉතින් මටත් වඩා වයස සහ ක්‍රියාත්මක නොවන තත්වයේ තිබ්බත් දැක්ක ගමන් ෆොටෝ එකක් ගහගන්න අමතක කරේ නැහැ. උඩ තියෙන්නේ ඒ ෆොටෝ එක.

ඔය අතරේ මගේ පරීක්ෂණ පත්‍රිකාවකට නැනෝ තන්තු වල ඉලෙක්ට්‍රොන අන්වීක්ෂ චායාරුපයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වෙන තත්වේ  ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දෙකයි තියෙන්නේ. එකක් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ භූ විද්‍යා අංශයේ. අනික ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හෙවත් SLINTEC එකේ. ඉතින් ගාන අඩු සහ අත ළඟ තිබ්බ පේරාදෙණියට සාම්පලයක් යැව්වා. අපි නැනෝ තන්තු වල චායාරුපයක් තමයි බලාපොරොත්තු උනේ. හැබැයි ටිකක් අමුතු තන්තු වගයක් තමයි අපිට දැකගන්න ලැබුනේ. ඒ ගැන වැඩි දෙයක් කියන්නේ නැතුව ඒ ෆොටෝ එක සහ ඊට ලැබුන facebook ප්‍රතිචාර වල screen shot එකක් පහලින් දැම්මා බලාගන්නකෝ.

Screenshot_2019-09-08_12-08-16

 

ෆොටෝ එක පොඩ්ඩක් වෙනස් උනා කියලා අපි සැලුනේ නැහැ. මෙන්න සම්පුර්ණ පරීක්ෂණ වාර්තාව. වෙන වැඩක් නැත්තම් විතරක් කියවන්න.

රට යන්න ශිෂ්‍යත්වයක් ගමු

අද ටිකක් සීරියස් කතාවක් කියන්න හිතුනා. විදේශ අධ්‍යාපනය කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් ගේ හීනයක්. මේ හීනය හැබෑ කර ගන්න ගොඩ දෙනෙක් විශාල ධනස්කන්ධක් වැය කරනවා. ඉරිදා ඔබ්සර්වර් පත්තරේ education අතිරේකය නිකමට වගේ අරන් බලන්නකෝ. එතකොට දල අදහසක් ගන්න පුළුවන් ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියන වෙළඳපොලේ  දිග පළල වගේම වියදම ගැනත්. හැබැයි ටිකක් හොයලා බැලුවොත් සහ කම්මැලි නැත්නම් නම් බොහොම අඩු වියදමින් හෝ වියදමක් නැතිවම විදේශ ශිෂ්‍යත්ව ලබා ගන්න බැරි නැහැ. අද කතාව ඒ ගැන.

පළවෙනියට බලමු මේකට ඕන මුලික සුදුසුකම්. මේක ටිකක් සංකීර්ණ වගේම එකින් එකට වෙනස් වෙන දේවල්. නමුත් පොදු සාධක මම පෙලගස්සන්නම්.

  1. භාෂාව

ගොඩක්ම ජාතන්තර විශ්ව විද්‍යාල වල ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් බොහෝවිට ඉංග්‍රීසි දැනුම මනින්නේ අපේ අ.පො.ස. විභාග වලින් නම් නෙවෙයි. මේ සඳහා වැඩියෙන්ම පාවිචිචි වෙන්නේ IELTS හෝ TOFEL කියන විභාග. හැබැයි ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව නොවන රටවල සමහර වෙලාවට ඒ රටේ භාෂා වලින් ඉගෙන ගන්න වෙන අවස්ථා තියනවා. උදාහරණ විදිහට ජපන්, කොරියන්, චීන, රුසියානු, ස්වීඩන් වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. එතකොට ඊට අදාල භාෂා ප්‍රවීණත්වය ලබා ගන්න වෙනවා.

  1. අධ්‍යාපන කුසලතා

ප්‍රතිපල වල A අකුරු වැඩිවෙන තරමට හොඳයි. මුලික උපාධිය කල කෙනෙක් නම් GPA අගය වැඩි වෙන තරමට හොඳයි. නමුත් මතක තියා ගන්න ශිෂ්‍යත්ව වලට අයදුම් කරන හැම දෙනාටම මේ 1 සහ 2 කුසලතා ඇති බව. ඒ නිසා වඩා වැදගත් 3 වෙනි සාධකය.

  1. පර්යේෂණ හෝ ව්‍යාපෘති

මේක තමයි ගොඩ දෙනෙක්ට නැති දේ. අපි ගොඩක් වෙලාවට විහාග ප්‍රතිපල පස්සේ දුවන එක සහ පාඩම් කරන එක විතරනේ කරන්නේ. නමුත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මුලිකම දේ තමයි දැනුම නිර්මාණය. ලංකාවේ පාසල් වල විතරක් නෙවෙයි, විශ්ව විද්‍යාල වල උනත් බොහෝ විට පවතින්නේ ගිරවා න්‍යාය. (එකනේ අපේ දැනුම නිර්මාණය මෙච්චර දුර්වල. එනිසා වෙන්නේ උගත් උනත් අලුත් දැනුමට බය වෙන පිරිසක් නිර්මාණය වෙන එක) එය ඉතා කණගාටුදායකයි. ඔබ උසස් පෙළ ශිෂ්‍යයෙක් නම් ඔබගේ පාසල් ව්‍යාපෘතිය, වගේම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් අවසන් වසර පර්යේෂණ වයාපෘති ඉතා තීරණාත්මක සාධක වෙනවා.

බොහෝ විට සාමාන්‍ය උපාධි හදාරන අයට අවසන් වසර පර්යේෂණ වලට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ හදාරලා තියෙන්නේ සාමාන්‍ය උපාධියක් නම් Optional subjects ලෙස හෝ පර්යේෂණ ක්‍රමවේද හදාරා තිබීම සහ පර්යේෂණ වල නියැලී සිටීම ඉතා වැදගත්. එහෙම නැත්නම් පස්චාත් උපාධියක් මගින් ඒ අවශ්‍යතාවයන් සම්පුර්ණ කරගන්න පුළුවන්. (මටත් විශේෂ උපාධියක් නැහැ.)

ඒ වගේම එම ප්‍රථිපල ස්වතන්ත්‍ර (first author publication) ලෙස ජාත්‍යන්තර ජර්නලයක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. අමාරු වැඩක් නමුත් කරන්න පුළුවන්. අඩුම ගානේ abstract එකක් විදිහට හරි ප්‍රකාශයට පත් කරලා තියන එක හොඳයි.


 

දැන් මම කියන්න යන්නේ ශිෂ්‍යත්ව වර්ග සහ ඒවා  හොයා ගන්නේ කොහොමද කියලා කියලා. මේ නිකන් මමම හදා ගත්ත වර්ගීකරණයක් විතරයි.

  1. රාජ්‍ය සහ අන්තර්ජාතික ආයතන ශිෂ්‍යත්ව

මේ කාණ්ඩයේ ශිෂ්‍යත්ව එන්නේ බොහෝ විට රජය හරහා. ඒ නිසා ඇමති ලිස්ට් වලින් ගන්න කව්රුත් නැත්නම් හරි වගේ තමයි චාන්ස් එකක් එන්නේ. අපේ අධ්‍යාපන අමාත්‍යංශ වලට අදාල වෙබ් අඩවි වලින් විස්තර හොයා ගන්න පුළුවනි. මුලික උපාධි, පස්චාත් උපාධි, පර්යේෂණ උපාධි වගේ ඕනෑම වර්ගයක් තියනවා.

උදාහරණ :

අධ්‍යාපන අමාත්‍යංශ ශිෂ්‍යත්ව

උසස් අධ්‍යාපන අමාත්‍යංශ ශිෂ්‍යත්ව

ආයතනික ශිෂ්‍යත්ව කියලා අදහස් කාලේ ලෝක බැංකුව, පොදු රාජ්‍ය මණ්ඩලය වගේ ලෝක මට්ටේමේ ආයතන වල ශිෂ්‍යත්ව. මෙන්න උදාහරණ කීපයක්.

පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව

සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා ලෝක බැංකු ශිෂ්‍යත්ව

  1. විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන ශිෂ්යත්ව

ලෝකේ බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන තමන්ගේ ප්‍රතිරූපය නංවාගන්න දක්ෂයන්ට අවස්ථාව දෙනවා. තමන් කැමති විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට යන්න විතරයි තියෙන්නේ. ඒ වගේම මේ වෙනුවෙන්ම තොරතුරු ඇතුලත් නාමාවලි තියෙනවා. ඒවායින් තොරතුරු ගන්නත් පුළුවන්. මුලික උපාධි, පස්චාත් උපාධි, පර්යේෂණ උපාධි වගේ ඕනෑම වර්ගයක් තියනවා. හැබැයි අවස්ථාවක් ගන්න චීන සහ ඉන්දියානු ශිෂ්‍යන් එක්ක තරගයක් දෙන්නට සිදු වෙනවා.

උදාහරණ : යුරෝපා ශිෂ්‍යත්ව සඳහා

  1. ප්‍රතිපාදන හා පුද්ගලික ශිෂ්‍යත්ව

මේ තමයි හොයා ගන්න අමාරුම වර්ගය. හැබැයි හොයා ගන්න පුළුවන් උනොත් ලැබෙන්න ඉහලම සම්භාවිතාවක් තියන වර්ගය. මතක තියා ගන්න මේවා කවුරුත් ලගට ගෙනත් දෙන්නේ නැහැ. ඒ වගේම ඉතා සුළු අවස්ථාවල ඇර advertise කරන්නෙත් නැහැ. ගොඩක්ම තියෙන්නේ පර්යේෂණ උපාධි. මෙතැනදී අපි සම්බන්ද කරගන්න ඕන අවශ්‍ය විෂය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. ඔහු හෝ ඇය හරහා තමයි ශිෂ්‍යත්වය ලැබෙන්නේ. මෙහිදී තියන වාසිය තමයි අපිට තරග කරන්න වෙන්නේ කීපදෙනෙක් සමග පමණයි. ඉතින් අපේ විශේෂ සුදුසුකමක් highlight උනොත් වැඩේ හරියන්න ලොකු හැකියාවක් තියනවා.

දැන් ඊලග ප්‍රශ්නේ කොහොමද මේවා හොයා ගන්නේ. කලින්ම කිව්වා නේ මේවා advertise කරනවා අඩුයි කියලා. අඩන්න ඕන කිරි එරෙන්න වගේ විශ්ව විද්‍යාල වෙබ් අඩවිය හරහා විදුලි ලිපිනය ලබාගෙන අදාල කෙනා සම්බන්ද කර ගෙන අවස්ථාව තියනවද කියලා අහල බලන එක කරන්න ඕන. තමන් හදාරන්න බලාපොරොත්තු වෙන විෂය ගැන විද්වතුන් ගේ ලැයිසිතුවක් හදලා බොහොම ආචාරශීලී හා වෘත්තීයමය (Polite and Professional) ලෙස ඉල්ලලා බැලුවොත් අවස්ථාවක් නැතත් අවස්ථා තියන තැනකට යොමුකිරීමේ හෝ හැකියාවක් තියනවා.

 


හරි. දැන් බලමු අයදුම් කරන පිළිවෙල.

මුලින්ම තමන් කැමති මොන විෂයක් ඉගෙන ගන්නද කියන එක තීරණය කරන්න.

ඊට පස්සේ ඊට අදාල විශ්ව විද්‍යාල/ය  හෝ පරීක්ෂණ ආයතන/ය වෙබ් අඩවියට ගිහින් අදාල මුලික සුදුසකම් හොයලා බලන්න. ඊට පස්සේ ඒ සුදුසුකම් සපුරා ගන්න. උදාහරණ විදිහට බොහෝ ඇමරිකානු විශ්ව විද්‍යාල ඉංග්‍රීසි සුදුසකම් ලෙස සලකන්නේ TOFEL.

ඊට පස්සේ ඊට අදාල විශ්ව විද්‍යාල/ය  හෝ පරීක්ෂණ ආයතන/ය වෙබ් අඩවියට ගිහින් අදාල වෙනත් සුදුසකම් ගැන දැනුවත් වෙන්න. උදාහරණ විදිහට ඔබගේ විෂයට අදාළ GRE විහාගය බොහෝ ඇමරිකානු විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ මුලික සුදුසකම් අතරට වැටෙනවා. නමුත් GRE වෙනත් ඕනෑම විශ්ව විද්‍යාලයක අතිරේක සුදුසුකමක්.

ඊලගට අදාල විශ්ව විද්‍යාල/ය  හෝ පරීක්ෂණ ආයතන/ය ශිෂ්‍යත්ව ලබා දෙන කාල සීමාවන් ගැන දැනුවත් වෙන්න. Spring සහ fall විදිහට ශිෂ්‍යන් බඳවා ගන්න කාල වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට වසරේ ඕන කාලයක අයදුම් කරන්නත් පුළුවන්.

අදාල කාලසීමාව තුල අයදුම් කරන්න. බොහෝ විට අයදුම්පතට අමතරව ඔබේ ජීව දත්ත සහ මෙම අවස්ථාවට ඔබ සුදුසු ඇයි යන්න හඳුනාදෙන cover letter එකක්, ඔබේ ඉදිරිපත් කරන්න වෙයි. ඔබ පර්යේෂණ උපාධියක් හදාරන්නට බලාපොරොත්තු වේ නම් Research proposal එකක් සමහරවිට ඉදිරිපත් කරන්න වෙයි.

එහෙනම් ජය වේවා. ගොඩක් ලොකු මාතෘකාවක් පුළුවන් තරම් කෙටි කරා. ප්‍රශ්න තියනවා නම් අහන්න. හැකි පමණින් උපදෙස් දෙන්නම්.

IFS කථා

කොළබ රස්සාව නතර කරලා මම උපන් ගමට එන්නේ 2014. අපේ ගෙදරට හුවක් දුරින් තියන ලංකාවේ තියන විශිෂ්ඨම පරීක්ෂණ ආයතනයක් වෙන මුලික අධ්‍යන ආයතනය (IFS) ගැන තමයි අද කථා සීරිස් එකේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් IFS ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ගොඩක් දෙනෙක් IFS කියපු ගමන් හිතන්නේ අර සොෆ්ට්වෙයා කොම්පැනි එක ගැන නේ. ඊට අමතරව රජයට අයිති මුලික විද්‍යා පරීක්ෂණ සිදු කරන විද්‍යාගාරයක් තියනවා Institute of fundamental studies කියලා. ඒක කෙටි කරලා තමයි IFS කියලා කියන්නේ. මේක බිහි කරන්න මුලික වෙන්නේ අපේ රටින් බිහි වුණ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු වෙන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහත්තයා. පොලවේ ජීවය ඇති වුනේ කොහොමද කියන එක විස්තර කරන ජෛව රසායන සම්බවය පිළිබද වාදය ඇති කරන පුරෝගාමීයෙක් වෙන එතුමා මීට අමතරව NASA ආයතනයේ වයිකින්, වොයෙජර්, ඇපලෝ වගේ මෙහෙයුම් වලටත් සම්බන්ද වෙනවා.

මහාචාර්ය පොන්නම්පෙරුම සහ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ඔපරින් (1964-NASA-photo-courtesy-)

අද වෙද්දී එතුමා අපි අතර නැතත් IFS එක අදටත් ලංකාවේ වැජබෙන්නේ ලංකාවේ තියන එකම මුලික විද්‍යා පරීක්ෂණ ආයතනය විදිහට. මට මේ පරිසරය කොච්චර අල්ලලා ගියාද කිව්වොත් මම හිටපු අවුරුදු 4න් අවුරුදු දෙකක් ම සිංහල අලුත් අවුරුද්දෙත් මම හිටියේ lab එකේ.

මේ කතාව සිද්ද වෙන්නේ මම ඇවිත් මාස කීපයකට පස්සේ. අපේ lab එකේ එක්තරා අත්‍යවශ්‍ය රතු පාට වර්ණකයක් අවසන් වෙන්න පටන් ගන්නවා. අලුතින් order කරලා තිබ්බත් ඕක නැවෙන් එන්න මාස ගානක් යනවනේ. දන්නවනේ ඉතින් ලංකාවේ කාර්යක්ෂමතාවය. මොකද කරන්නේ කියලා කල්පනා කරලා අන්තිමට මම හිතුවේ කව්රුත් නැති වෙලාවක් බලලා ඊට අසන්න වෙනත් රසායනිකයක් සංස්ලේෂණය කරගන්න පුලුවන්ද කියලා බලන්න. ඉතින් ඔන්න කව්රුත් හවස lab එකෙන් යනකන් ඉදලා මම ශේප් එකේ වැඩේ පටන් ගත්තා. දැන් වැඩේ යන්නේ මෙහෙමයි. පරීක්ෂණය කෙරෙන උපදෙස් තියන කොම්පියුටර් එක එක lab එකක. පරීක්ෂණ ඇටවුම තව lab එකක. මම ඉතින් එහාට මෙහාට දුවනවා. දැනට සරලව හිතමුකො A කියන රසායනිකය B වලට කලවම් කරපුවාම හරි කියලා. ඔන්න ඉතින් මමත් A තියන පරීක්ෂණ නලයක් අරගෙන B තියන ලොකු බීකරයකට දැම්මා. හැබැයි බලං ඉන්නවා  බලං ඉන්නවා ඉන්නවා මුකුත් නැහැ. තව පොඩ්ඩක් වෙලා බලං හිටියා. හ්ම්ම්. ඒත් මුකුත් නැහැ. පොතේ හැටියට නම් දැන් ලස්සනට රතු පාටට බැබලි බැබලි ප්‍රතිපලේ එන්න ඕන. තවත් පොඩ්ඩක් බලං ඉදලා මොකක් හරි වැරදුනා ද කියලා කොම්පියුටරෙන් ආයෙත් චෙක් කරලා බලන්න ඕන කියලා මම lab එකෙන් එලියට ඇවිත් දොර වැහුවා විතරයි මහා සද්දයක් ආවේ නැද්ද ඇතුලෙන්.

එක නිකක් අර චිත්‍රපටි වල වගේ වෙන බෝම්බයක් පුපුරන සද්දයක් වගේ ඩෝන්  ගෑමක් නම් නෙවෙයි. ඒ සද්දේ සමාන හරියට නරක් වෙච්ච කොත්තුවක් කාලා පහුවදා රිටන් එක හම්බෙද්ද්දී එනවා වගේ සද්දයකට. කොහොම හරි කම්පන තත්වය අඩු උනාම මම ශේප් එකේ දොර ඇරලා බැලුවා මොන අලකලංචියක්ද වෙලා තියෙන්නේ කියලා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි lab එක නිකන් මෙන්න මේ වගේ.

ඉතිරි ටික ඉතින් කියන්න ඕන නැහැ නේ. අදටත් ඒ වෙච්චි විනාසේ පුංච් පුංචි සලකුණු අපේ lab එකේ තියනවා.

*****************************************************************************************************************

ඊලග කතාව කියන්න කලින් වචනයක තේරුම පැහැදිලි කරන්න වෙනවා. තේරුම දන්නවනම් කෙලින්ම කතාවට යන්න.

පිපෙට්ටුව

මේක දියර ජාති මැනගන්න පාවිචිචි කරන බටයක් වගේ එකක්. හරියට බීම බටයක් වගේ. වෙනසකට තියෙන්නේ ප්‍රමාණය සලකුණු කරලා තියන එක තමයි. ඕක ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකේදී නම් බීම බොනවා වගේ කටින් ඇද්දට අනිවාර්යෙන් විද්‍යාගාර පාවිච්චියේදී පිපෙට් ෆිලර් කියලා කියන රබර් බෝලයක් හෝ යාන්ත්‍රික මැනුම් උපකරණයක් යොදා ගන්න ඕන. ඉස්කෝලේ වතුර නේ මනින්නේ. පොඩ්ඩක් බිව්වත් අවුලක් නැහැ. 😉 හැබැයි lab එකේ කටින් ඇද්දොත් හබක් වෙන්න තියන ඉඩ වැඩියි.

විශ්ව විද්‍යාල වල විශේෂ උපාදි කරන ශිෂ්‍යන්ට අනිවාර්ය දෙයක් තමයි තමන්ගේ විෂය ක්ෂේත්‍රයට අදාළ  පරීක්ෂණ ව්‍යාපෘතියක් කරන එක. අපේ lab එකටත් හැම අවුරුද්දෙම ලංකාවේ විශ්ව විද්‍යාල කීපයකින්ම මෙහෙම පරීක්ෂණ වලට ශිෂ්‍යයෝ එනවා. ඔන්න එක දවසක් මෙහෙම ආපු නංගි කෙනෙක් පණ එපා කියලා දුවනවා. මොකද කියලා හොයලා බලනකොට සාන්ද්‍ර ඇමෝනියා ඕන වෙලා ඉස්කෝලේ පුරුද්දට පිපෙට් ෆිලර් පාවිච්ච් කරන්නේ නැතුව කටින්ම ඇදලා විතරක් නෙවෙයි කට ඇතුලටත් ඇමෝනියා පොඩ්ඩක් ගිහින් කටේ හමත් පොඩ්ඩක් තුවාල වෙලා.

මට පුදුම ඒ නංගිට පිපෙට් ෆිලර් පාවිච්ච් කරන්න අමතක වෙච්ච එක නෙවෙයි. අමතක වීම් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් නේ. එත් කොහොමද අප්පේ නහයක් තියාගෙන සාන්ද්‍ර ඇමෝනියා කටින් ඇද්දේ?

නොදන්නා අයට දැනගන්න පසුව ලිවීම.  

චූ කරලා වතුර ගහන්නේ නැති ලැට් වලින් එන්නේ ඔය ඇමෝනියා ගඳම තමයි. එහෙම වෙන්නේ මුත්‍රා වල තියෙන යුරියා (ඔව් අර පොහොර ජාතිය තමයි) මත බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා ඇමෝනියා පිට කරන නිසා. දැන්වත් හිතා ගන්න පුළුවන් නේ එහෙනම් සාන්ද්‍ර ඇමෝනියා කොහොම ගඳ ඇතිද කියලා.

 

 

 

 

අල්ට්‍රා සවුන්ඩ් හා මල්ටිපිකේෂන් ටේබල්

අපි පොඩි කාලේ (පොඩි කිව්වාට පොඩිමත් නැති) හරි අසාවෙන් බලපු ම්යුසික් වීඩියෝ එකක් තමයි මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව ගේ මතක මන්දිර සින්දුව. ඒ කාලේ ඔය වීඩියෝ එකේ හිටපු උපේක්ෂා වගේම සින්දුව නිෂ්පාදනය කරපු ඉරාජ් හිටියේ ජනප්‍රියත්වයේ ඉහලම තලයේ. පස්සේ උපේක්ෂා පාර්ලි‌‌මේන්තුවට එහෙම ඇවිත් වැඩේ වන කර ගත්තා. කොහොමහරි ඔය වීඩියෝ එකේ මුල් තත්පර කිහිපයේ තියන දර්ශනයට සමාන දෙයක් පසුතලයක් හිතා ගන්නකෝ. ඔන්න මම එකට හරියන ස්ක්‍රිප්ට් එකක් ලියන්න පටන් ගන්නවා.

————————————————————————————————————————-

රෝහල් කොරිඩෝව දිගේ බරට අඩි තබමින් ප්‍රසව හා නාරි වයිද්යවරයා පැමිණෙන්නට විය. ඒ වන විටත් පරික්ෂා කාමරය තුල හෙදියක් හා සාත්තු සේවිකාව සියලු කළමනා පිළියෙළ කොට හමාරය. ඒ වන විටත් සියලුම රෝගීන් පැමිණ අසුන් ගෙන හමාරය. පරිලෝකන පරීක්‍ෂණය පැවැත්වීම සදහා වූ යන්ත්‍රය එහි වාර්ෂික නඩත්තු කටයුතු සඳහා යොමුකරන ලද්දේ මීට පෙර දිනයේ දීය. එහි තත්ත්ව වාර්තාව සතුටු දායක වූ අතර කිසිදු දෝෂයක් වාර්තා නොවුනි. වෛද්‍යවරයා  අසුන් ගත් වහා සාත්තු සේවිකාව ප්‍රථම අංකය කැඳවන ලදී. සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. රෝගී ඇඳේ නිදා ගැනීමට සන් කල ඔහු පරිලෝකන යන්ත්‍රය මගින් ඇයගේ දරුවා නිරීක්ෂණය කරන්නට විය. යන්ත්‍රයේ තිරය මතට හා පැරණි රෝගී වාර්තා වෙතට ඔහුගේ නෙත වරින් වර යොමු විය. “හ්ම්ම්ම්.. නිවුන් දරුවෝ?” ඔහුට කියැවුණි. නමුත් කලලයේ නියම ස්වරුපය තවමත් පෙනනුයේ යන්තමිනි. “ආයෙත් මාසෙකින් ඇවිත් ස්කෑන් එකක් කරගන්න” ඔහු උපදෙස් දුන්නේය.

අංක දෙක එන්න” සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. රෝගී ඇඳේ නිදා ගැනීමට සන් කල ඔහු පරිලෝකන යන්ත්‍රය මගින් ඇයගේ දරුවා නිරීක්ෂණය කරන්නට විය. යන්ත්‍රයේ තිරය මතට හා පැරණි රෝගී වාර්තා වෙතට ඔහුගේ නෙත වරින් වර යොමු විය. “හ්ම්ම්ම්.. නිවුන් දරුවෝ ආයෙත් ?” ඔහුට කියැවුණි. නමුත් ඊට පෙර මස වාර්තාවේ ඔහු ලියා තිබුනේ නිවුන් දරුවන් කියා නොවේ. “ආයෙත් මාසෙකින් ඇවිත් ස්කෑන් එකක් කරගන්න” ඔහු උපදෙස් දුන්නේය.

අංක තුන” සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. පසුගිය මස ලබාගත් පරිලෝකන වාර්තාව අනුව මෙම මවට ලැබීමට නියමිත වුයේ නිවුන් දරුවන් ය. එම කරුණ හිතේ දරාගත් ඔහු යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. තිරය මත දුටු දර්ශනය ඔහුට ඇති කලේ පුදුමය සහ කෝපය අතර හැගීමකි. මන්දයත් තිරය මත ඔහුට දරුවන් හතර දෙනකු දැක ගැනීමට  හැකි වූ නිසාය.

මිසී.. අපේ අනික් පරණ ඉකෝ මැෂින් එක ඔන් කරන්න ඉතුරු ලෙඩුන්ට”. ඔහු හෙදියට උපදෙස් දුන්නේය. එය සුදානම් වනතුරු දුරකථනය අතට ගත් ඔහු රෝහලේ පිළිගැනීමේ නිලධාරිනිය ඇමතීය. “අපේ ලොකු ඉකෝ මැෂින් එක ගත්ත කොම්පැනියට කෝල් එකක් දීලා කියන්න මෙන්ටෙනන්ස් එකෙන් පස්සේ මැෂිම වැඩ නැහැ කියලා. විශේෂයෙන්ම ඊයේ ආපු කෙනාටම ආයෙත් එන්න කියන්න” ඔහු පැවසීය.

DSC03723
අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනරයක් සමග ජනිත් 

සුළු මොහොතකින් එක්තරා වෛද්‍ය උපකරණ සමාගමක් වෙතට එන දුරකථන ඇමතුමකි. සමාගම අන්තයේන්  පිළිගැනීමේ නිලධාරිනිය පවසන කොටස පමණක් ලියා තබමි.

හලෝ , ***** **** සමාගම.”

 “ආ ඇත්තද? පොඩ්ඩක් ඉන්න මම ඉන්ජිනියර් ට ට්‍රාන්ෆර් කරන්නම්”

ඇය අභ්‍යන්තර දුරකථන ඇමතුමක් ලබා ගනී.

“හෙලෝ ජනිත්. ඔයාට ***** හොස්පිටල් එකෙන් කෝල් එකක්. ඔහොමම ලයින් එකේ ඉන්න මම ට්‍රාන්ෆර් කරනවා

____________________________________________________________________________________

හරි. මනඃකල්පිත කතාව මෙතනින් ඉවරයි. එතනින් එහාට කතාව කියන්න අමිහිරි නිසා මම නොකියා ඉන්නම්.

ප.ලි. බඩේ ඉන්න එක ළමයා දෙන්නෙක් විදිහටත්, දෙන්නා හතර දෙනෙක් විදිහටත් පෙන්න පටන් ගත්ත දෝෂයට හේතුව අල්ට්‍රා සවුන්ඩ් ප්‍රොබ් එක, මැෂින් එකට නියමිත විදිහට සම්බන්ද නොවී බාගෙට හයි කිරීම නිසා කියලා පස්සේ හොයා ගන්න පුළුවන් උනා.

අලි මදිවට පතොක්

මේ බ්ලොග් එකේ වනාන්තර අශ්‍රිතව ගතවුන මගේ ජීවිතේ කාලපරිච්ඡේදය තුල සිදුවුන රසබර සිද්දි ඔක්කොම සීරිස් එකක් විදිහට ඉවර කරන්න හිතන් ලිව්වට එහෙම ගියොත් මෑතක වෙච්ච් සිද්දි ලියන්න වෙන්නේ මගේ මලගමෙනුත් පස්සේ. ඔන්න ඒ නිසා කැලෑ ජීවිතෙන් පස්සේ ජනිත් ට සේවය කරන්න වෙච්චි ජීව වෛයිද්‍ය ක්ෂේත්‍රයේ කථා දෙක තුනක් කියන්නයි මේ සුදානම.

නැත්තන් ඔන්න ඔහේ තව එක කතාවක් කියන්නම්. මේ සිද්දිය උනේ බුන්දල ජාතික වනෝද්‍යානයේ. බුන්දල තියන්නේ දකුණු පළාතේ යාලට මායිම් වෙලා. මේ සිද්දිය වෙන කාලේ වනජීවී එකේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ඔය ගම් වැදිලා මිනි මරණ වල් අලි අල්ලලා බුන්දලට නිදහස් කරන. දැනුත් එහෙමද කියල නම් දන්නේ නැහැ. කොහොම හරි මෙහෙම ගෙනාපු වල් අලියෙක් බුන්දල අවට ගම් වලට රිටර්න් එක දෙන්න පටන් අරන්. ඔය අතරේ මටත් බුන්දල යන්න සෙට් උනා.

elephant-chasing-bike-rideres-jpg

 

සාමාන්යෙන් වනජීවී නියාමකයෝ ගිනි අවි අරගෙන යන්නේ හරි කලාතුරකින්. හැබැයි මේ වතාවේ නම් අපේ පොර තුවක්කුව අරගෙන තමයි දොට්ට පිලටත් යන්නේ. ඔන්න ඔය අතර නිවුස් එකක් එනවා අපි බුන්දල ආපු දවසට කලින් දවසෙත් ළඟ ගමක හිටපු මනුස්සයෙක් මේ අලියා ගහල මරලා දාල කියල. එකම එක වතාවක් සෆාරි යද්දී ඔය අලියා ලාවට වගේ දැක්ක අපි දඩි බිඩි ගාල මාරු උනා.  කොහොම හරි දවස් තුනක් ගත කරලා පණ බේරාගෙන පිටත් වෙන්න මට පුළුවන් උනා. හැබැයි දැන් තමයි හොඳම හරිය.

අහ්හ්. ඊට කලින් බුන්දල පරිසරය ගැන පොඩ්ඩක් කියන්න ඕන. මෙහෙ වැඩිපුර තියෙන්නේ පොඩි පොඩි පඳුරු කුට්ටි. රූස්ස ගස් ඇත්තෙම නැති තරම්. සමහර තැන් වල නිකම්ම වැල්ල. මතකයි නේ සමාජ අධ්‍යනෙට ඉගෙන ගත්ත අර්ධ ශුෂ්ක කලාපේ ලක්ෂණ. ඉතින් හොඳටම වැවෙන්නේ පතොක් ගස් තමයි. අපරාදේ කියන්න බැහැ කැම්ප් එක වටේටත් හොඳ සරුසාරේට පතොක් ගස් නම් වැවිලා තිබ්බා. හැබැයි පතොක් කට්ටක් අනුනොත් නම් බඩුම තමයි. පතොක් කට්ටක් ලාවට අනුනොත් හරිම අමුතු වේදනාවක් දැනෙන්නේ. හරියට ඇනුන තැන ඉඳන් වටේට වේදනාව රැස් විහිදෙනවා වගේ හැගීමක්. තදට අනුනොත් ඊට අන්තයි. මොකද පතොක් කට්ටේ අගිස්ස බොහොම ලේසියෙන් හම ඇතුළේදී කැඩෙනවා. ඉතින් ටික කාලෙකින් ඇනුණු තැන පැසවලා තමයි කට්ට එලියට එන්නේ.

brian_cactus

මෙතනින් එහාට කියන්නේ මම ආවට පස්සේ කතාව. හරියටම මම ආපු දවසේ කොළඹින් ලොක්කෙක් ඇවිල්ලා අපේ කැම්ප් එක බලන්න. මිනිහා කැම්ප් එක බල බල ඉන්න අතරේ අර මිනීමරු අලියා කුලප්පු වෙලා ඇවිල්ලා කැම්ප් එකට. අපේ කට්ටිය හී හී කඩ දුවන අතරේ එක්කෙනෙක් ලොක්කවත් පැත්තකට අරන් දුවලා ලඟම තිබ්බ ගහකට නගින්න. මුට හරියකට ගහකට නගින්නවත් බෑ. ඒ අස්සේ අලියත් ලගට දුවන් එනවා. අලි එක්ක සෙල්ලම් බැහැ. මැරිලා වගේ ඇක්ට් කරන්නත් බෑ වලහට වගේ. 😀  එක වතාවක් උඩවලවේ කැම්ප් සයිට් එකෙක්ට පහර දෙන්න ආපු වල් අලියෙක් ගහල තිබුනේ කැම්ප් එකේ තිබ්බ වැසිකිලි පොචිචියකට. ඒක ෆුට් බෝලයක් වගේ විසිවෙලා ගිහින් කෑලි වෙලා තිබ්බා මීටර සීයකටත් එහා ගිහින්. කොහොම හරි බොහොම අමාරුවෙන් ගහේ යට අත්තකට ලොක්කවත් නග්ගගෙන තියනවා.

ඒ අතරේ  හොදට ගහක මුදුනේම ඉඳන් ලොක්කා පස්සෙන් අලියා එලවන සීන් එක බලාගෙන හිටපු එකෙක් බයවෙලා ගහෙන් වැටිලා. අර ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්න වගේ කියලා කතාවකුත් තියෙන්නේ. හැබැයි මෙයා බය උන පාර ගහෙන් වැටිලා තියෙන්නේ හරියටම යටින් තිබ්බ විසාල පතොක් ගාලක් උඩට. මිහිහගේ කෑ ගැහිල්ලට අලියත් බය වෙලා දුවලා.

එදා ඉඳන් මාස ගානක් යනකන් අර අසරණයා ගේ ඇඟේ තැනින් තැන පැසව පැසව පතොක් කටු මතු උනා කියල තමයි කට්ටිය කියන්නේ.

අප්සට් සින්දු සහ ලව්

විකාර බ්ලොග් එක ප්ලෑන් කරන දවස් වල මම මටම දාගත්ත නීතියක් තමයි පරණ ලව් ස්ටෝරි ඇතුළු ජීවිතයේ කිව හැකි සහ නොහැකි  සෘණාත්මක කතා සියල්ල සපුරා වාරණය කරන බව. ඒ නිසා මේකේ තියෙන්නේ ධනාත්මක සහ motivational කතා විතරයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත සිංහල පොතේ පාඩම් බහුතරයක්ම අසුභ කතා තමයි. ඊට අන්තයි ඉංග්‍රීසි සාහිත්‍යය පොත. දැන් නම් පෙළ පොත වෙනස් වෙලා ද දන්නෙනෑ.

ජනිත් මානවකයා විස්සවිද්‍යාලයේදී (අ)පරාජිත ප්‍රේමවන්තයා ලෙස රංගනයෙන් දායක වෙමින්

ටේලර් ස්ව්ෆ්ට් කියන්නේ මගේ ඉස්සර ලව් එකක්. කලබල වෙන්න එපා. මම අදහස් කරේ මම එයාගේ ගොඩක් ආදරණීය රසිකයෙක් කියන එක. සමනල විප්ලවය බ්ලොග් එකේ හරි ලස්සන වචනයක් තිබුණා “ප්ලේටෝනික විතරාගී ආදරය” කියල. මම හිතන්නේ මටත් තිබ්බේ එහෙම එකක් ද කොහෙද. ඉස්සර ලව් එකක් කිව්වේ දැන් එහෙම එකක් නැති නිසා. මගේ ඒක පාර්ශවික ප්‍රේමේ නැතිඋනේ මෙහෙමයි. මගේ ඔය ලව් කතාව අපේ ඔෆිස්  එකේ (කලින් රස්සාවේ) සඳලි එක්ක කිව්වම එයා මං දිහා අමුතු විදිහට බලල මගෙන් ඇහුවා “දන්නවද ටේලර් ස්විෆ්ට් ගේ උස කියල?” මම ගුගල් සර්ච් කරාම දන්නේ එයා අඩි 5’8”උසයි කියලා. ඉතින් අඩි 5’7’’උස නැති මට එච්චර උස ගැනියෙක් හරියන්නේ නැති නිසා මම වැඩේ අත් ඇරලා දැම්මා.

taylor_swift_no_makeup

ටේලර් සිව්ෆ්ට් මගේ මුළු හිතෙන්ම නැති වෙලා ගියේ මේ පොටෝ එක දැක්කම. යකෝ මේකප් දාපුවම නව දැලි හේනේ වැඳිරියෙක් උනත් පට්ට celebraty කෙනෙක් කරන්න පුළුවන් නේ. මගේ පුද්ගලික මතය, ස්වභාවික ලස්සන ඒ විදිහටම තියාගෙන ඉන්නේ කොල්ලෝ විතරයි කියන එක. මොකද ඉතින් වෙඩිමකට උනත් උපරිම බේබි ක්‍රීම් ටිකක් උලාගෙන යයි. ඒකට කෙල්ලෝ. Name tag එකක් ගහන් හිටියොත් මිස අඳුරගන්න බෑ තමුන්ගේ මනුස්සයටවත්!

අප්සට් සින්දු කියල හෙඩිම දැම්මේ ටේලර් ස්විෆ්ට් ගැන කියන්න නම්  නෙවෙයි. (එයාගේ සින්දු දැන් නම් අප්සට් වේගෙන යනවා. ඒ ගැන වෙනම පොස්ට් එකක්ම දාන්න වෙයි.) ලංකාවේ නම් ජනප්‍රියම අප්සට් සින්දුව තමයි X එලියන්. ජනප්‍රියම කිව්වේ යු ටියුබ් හිට් ගණන අනුව අද වෙනකොට අරගෙන තියනවා. කොච්චර අප්සට් සින්දුවක් කියන එක සින්දුවේ කොමෙන්ට් වලින් බලාගන්න පුළුවන්. හැබැයි X එලියන් මගේ playlist එකේ තියන සින්දුවක්.මොකද මේ සින්දුව කියන විදිහේ අවුලක් විතරයි තියෙන්නේ. බොරු නම් මෙන්න මේක අහල බලන්න. මේ X එලියන් කවර් වර්ෂන් එකක්.

හැබැයි ලෝක මට්ටමින් අප්සට් ම සින්දුව වෙන්නේ මෙන්න රෙබෙකා බ්ලැක් ගේ මේ සින්දුව. මේක හඳුන්වල තියෙන්නේ Friday කියල. මට නම් රෙබෙකා බ්ලැක් කියන්නේ අපේ ලංකානි (X එලියන් කියන කෙල්ල) ට වඩා දුර්වල චරිතයක්. එයාගේ සින්දුවට ලැබිච්ච අප්සට් ප්‍රතිචාර වලට එයා කොච්චර අප්සට් ගියාද කියලා කියනවනම් එයා මාස 3 කට එයාගේ යු ටියුබ් එකවුන්ට් එක වහලා දැම්මා.

ඒ වගේම ඊට සමාන මඩ සින්දු හෝ ගාල කට්ටිය හදන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඒ වගේ මඩක්.

පොස්ට් එක ඉවර කරන්නේ ලෝක ඉතිහාසයේ නෙවෙයි මුළු විශ්වයේ ඉතිහාසයේම වැඩිම කාලයක් ගැන කියවෙන ගීතයෙන්. අපේ විශ්වය ආරම්භ වුණා කියල සැලකෙන මහා පිපිරුමේ ඉඳං අද දක්වා ගතවුන අවුරුදු බිලියන 15 කට අසන්න කාලයම ගැන මේ සින්දුවෙන් කියවෙනවා.