මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for May, 2012

ජනිත් ගේ සිනමා විගමනය

සිනමාවට ආපු හැටි කලින් කිව්වනේ. අද කියන්නේ සිනමාවෙන් ගිය හැටි. පලවෙනි චිත්‍රපටියේ පුංචි සහය චරිතයක් කරපු මං ඊළඟට කැම්පස් එකේදී ඊටවඩා ලොකු චරිතෙකට අවතීර්ණ උනා. මේකෙදි මං හිටියේ දුෂ්ටයා ගේ චරිතේට. ඇත්ත වශයෙන්ම මම අධ්‍යක්ෂ ගෙන් පරාජිත ප්‍රේමවන්තයා ගේ චරිතේඉල්ලුවාට  එහෙම එකක් තිබුනේ නැති නිසා පරාජිත දුෂ්ටයාගේ චරිතේ තමයි හම්බුනේ. අපේ මේ ෆිල්ම් එකට නමක් තිබුනද කියලා නම මට මතක නැ. කොහොමහරි මේකේ ප්‍රේමවන්තයා උනේ අපේ ටාසන් මාමා.

ඇස අනු නවයෙන් බේරා ගත් අවස්තාව…(කව්දෝ මගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඉන්නේ දැඟලිල්ල නතර කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න )

මෙන්න මේ විදිහට මට දාපු මේකප් එක මට ජීවිතේට අමතක වෙන්නේ නැ. මගේ ඇස් දෙකේ “මස්කාරා ද ” මොකද්ද ජරාවක්  ගාන්න කියලා ගිහින් තව පොඩ්ඩෙන් වේශ නිරුපන ශිල්පිනියෝ මගේ ඇස් දෙකත් පොට්ට් කරනවා.

කොහොම හරි ෂූටින් දවසේ අන්තිම සටන කරන අවස්‌ථාව ආවා කියමුකෝ. පිටපතේ හැටියට ටාසන් මාමා නොහොත් අපේ සත්‍ය ප්‍රේම බ්රුන්ග රාජයා මගේ බඩට පයින් පාරවල් දෙකක් දීල හොම්බටත් දෙකක් අනින්න තමයි තියෙන්නේ මට වීසි වෙලා යන්න. දර්ශන තලය රසායන විද්‍යා අධ්‍යන අංශයේ උඩ තට්ටුව. කැමරා කරන්නේ යාබද ගොඩනැගිල්ලේ ඉඳං!

සටනේ දල සටහනක්

මුලින්ම කරේ පුහුණුවීමේ සටන. පයින් පාරවල් දෙකයි, හොම්බටත් දෙකයි.දඩින් බිඩින් ඩොන් අවුලක් නැ. වැඩිය රිද්දගන්නේ නැතුව මම ගානට ගුටි කෑවා. ඔන්න ඊළඟට දර්ශනය. අධ්‍යක්ෂ “ඇක්ෂන් ” ගනකොටම..ටාසන් මාව ඇදල අරගෙන ගානට බඩට දෙකක් ඇන්න. දඩින් බිඩින් … හරි තාත්විකයි…
ඊළඟට මුනට. දඩොන් …ඩොන් …!!

අනේ අහිංසක මට එච්චරයි මතක. මගේ මුළු ලෝකෙම කළුවර වෙලා ගියා……!

මම ආයේ ඇස් ඇරලා බලනකොට මුළු චිත්රපටි කණ්ඩායමම මගේ වටේ රොක් වෙලා. එයාල පස්සේ කියපු විදිහට මට වැදුණු ගුටි පාරේ සද්දේ අනික් බිල්ඩිමටත් ඇහුනලු. මෙන්න ඒ අස්සේ ටාසන් කාරය මට කියනවා “අඩෝ මචං , උඹට හයියෙන් වැදුනේ නැ නේද?” කියල. යකෝ මේ රට උලමා මට නෙලලා තව අහන ජාති. මෙතන ලින්යන්න බැරි වාග් සමුදායක් මගේ හිතට ආවට ඒවා කියා ගන්න තරම් පණක් මට තිබුනේ නැ.

 

 

ගොඩනැගිලි දෙකක් අතර පරතරය

 

ඔය අස්සේ මොකද්දෝ තද දෙයක් මගේ කටේ තියනවා කියලා මට තේරුණා. ඒ පාර මම “තුහ්:” කියලා එක විසි කරා.

දෙය්යනේ..! මේ මගේම පුරස්චාර්වක දතක් නේද…?

මේකයි වෙලා තියෙන්නේ. ටාසන් මහා කරුණාවෙන් යුක්තව මට ගහපු පාර වැදිලා තියෙන්නේ මගේ නිකටට. ඊට පස්සේ එම බලය නිකටින් යටි හක්කටත් , යටි හක්කෙන් උඩහක්කටත්  සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ උඩ හක්කේ පුරස්චාර්වක දත සමචේදනය කරගෙන. ඒ සමච්චේදිත දත් කොටස තමයි තුහ්: ගානකොට විසි වෙලා ගියේ.


එතනින්ම අපේ චිත්රපටියේ වැඩ නිමා උනා. එදා රාත්‍රියේම හදිසි ප්‍රතිකාර සඳහා මං මහනුවරට ආවා .ඊට පහුවදා ආයිත් මට ආයිත් කලන්තේ දාන්න ආසන්න උනේ මගේ කැඩුනු දත ක්‍රවුන් කරන්න රුපියල් 15,000  විතර යන බව දැනගත්තම. මහපොළ රුපියල් 2,500 න් ජීවත් වෙන මට මොන ක්‍රවුන් ද? මම රුපියල් 2,000 කට නිකම් ෆිලින් එකක් දාගෙන ගෙදර ආවා. දොස්තර කියපු විදිහටම ඒක අවරුදු 2 ක් වත් තිබුනේ නැ. ගැලවිලා ගියා.

ඔන්න ඔහොම තමයි දත් 32 සහිතව සිනමාවට ආපු මට දත් තිස් එක හමාරක්  ඇතුව සිනමාවෙන් යන්න ගියේ.

Advertisements

ජනිත් ගේ සිනමා ආගමනය

Next Mission චිත්‍රපටය කියන්නේ ජනිත් ගේ  මුල්ම නිර්මාණය. හැදුවේ ලංකාවේ ප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමක් සංවිධානය කරපු කෙටි චිත්‍රපට තරගෙකට ඉදිරිපත් කරන්න. මේකේ පිටපතට පාදක උනේ අපේ කුකු. ඒ කතා දන්නේ නැත්නම් මෙතනින් බලන්නකෝ. අධ්‍යක්ෂණය හා කැමරාකරණය මම. මගේ අතීසාර මිත්‍ර මධුෂාන් සහය කැමරාකරණය හා රංගනයෙන් දායක උනා. ඊට අමතරව සාරංග සහ අපේ බලු තඩියා මෙහි චරිත නිරුපනය කලා.

චිත්‍රපටය සඳහා නිර්මාණය කල පරිගණක Wall Paper ය

මේකේ කතාව සරලව මෙහෙමයි. එක්තරා ප්‍රදේශයක රෙදි වැල් වලින් යට ඇඳුම් අතුරුදහන් වීම් ගණනාවක් වාර්තා වෙනවා. පොලිසියෙන් හිතන්නේ මේක මානසික රෝගියෙක් ගේ වැඩක් කියලයි. මේ ගැන සොයා බලන්න රහස් පරීක්ෂක කණ්ඩායමකට භාර දෙනවා. එයාල හොරා කව්ද කියලා කතාව අන්තිමේ හොයා ගන්නවා. හැබැයි එයා මනුස්සයෙක් නෙවෙයි. බල්ලෙක්. (අර්ධ ලෙස සත්‍ය සිදුවීමකි. නම ගම මනඃකල්පිතයි  )

දැන් චරිත ගැන හිතා ගන්න පුළුවන් නේ. අපි හැමෝම වීරයෝ (මෝඩයෝ ) වෙන අතරේ කුකු චෞරයා වෙනවා.

අපි රුගත කිරීම් වලට රෙන්ට් එකට ගත්තේ අපේ අක්කගේ කැමරා ෆෝන් එක. ඒක සෝනි එරික්සන් K320 දුරකතනයක්. එකේ තිබුනේ VGA කැමරාවක්. නැතුව මෙගා පික්සල් බර ගානක කැමරාවක් එහෙම නෙවෙයි.

අපේ සිනමා ඇස

මේ චිත්‍රපටියේ එක දර්ශනයක් තියනවා මදුෂාන් වෙඩි තියන. එත් අපිට මොන තුවක්කුද? ඒ  නිසා ගෙදර තිබුන බයිසිකල් හුලං පොම්පේ මොඩිෆයි කරලා තුවක්කුවක් කර ගත්තා. ඊළඟ ප්‍රශ්නේ කොහොමද වෙඩි තියන්නේ කියන එක. අපිට ඕන උනේ නිකං අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කලා හා සමාන රුප පෙලක්. ඒ සඳහා තුවක්කු කටේ අහස් කුරක් තියලා යවන්න මම සැලසුම් කරා. (රතිඤ්ඤා මතක් උනේ නැත්තේ හොඳ වෙලාවට) අවරුදු පහුවෙලා තිබුන නිසා අහස් කුරක් හොයන එක ලේසි උනේ නැ. අන්තිමට මදුෂාන් කොහේදෝ තිබිල එක අහස් කුරක් හොයාගෙන අවා.

ඔන්න දැන් රුගත කිරීමට සියල්ල සුදානම්. අපේ කරුමේ කියන්නේ හම්බෙලා තිබුනේ පුස් අහස් කුරක්. ඒක උඩ ගියාට පිපුරුනේ නැ. සංස්කරණ කටයුතු කරපු මට සිද්ද උනා වෙඩි සද්දෙක ශබ්ද ගොනුවක් වීඩියෝ එකට මුහු කරන්න. ඒ කාලේ දැන් වගේ ගුගල් දෙවියෝ වෙනුවට හිටියේ එන්කාර්ටා දෙවියෝ . (ඒ කාලේ  මගේ ඩයල් අප් නේ තිබුනේ.  ) එත් වෙඩි ශබ්දයක් නම් එන්කර්ටා දෙය්යෝ ගාව තිබුනේ නැ. හැබයි දෙවෙනි ලෝක යුද්දේ ඇමරිකාව ජපානෙට දාපු පරමාණු බොම්බේ වීඩ්යෝ එකක් ම තිබුණා. අන්තිමට ඒ සද්දේ තමයි අපේ රුප රාමු වලට එකතු උනේ. මේන් බලන්නකෝ ඒක.

වීඩියෝ එකෙන් දැක්කනේ චිත්‍රපටියේ හැටි. ආයේ අපේ දිනුම ගැන ලියන්න ඕන නැ නේ. ජයග්‍රාහකයා තේරුවේ ලකුණු වල ආරෝහණ පිළිවෙලට  අනුව නම් සැකයක් නැතුව මුල් තැන ගන්නේ ජනිත් තමයි.

බල්ලාගේ බලුවැඩ

අපේ බල්ලා ගේ නම කු කූ ය. නිවසකට බලු පැටියකු ගෙනා පසු සිදුවන මුල්ම කාරිය ඌට නමක් තැබීමයි. මම මේකාට මුලින්ම දැමු නම වන්නේ සරමපාල ය. නමුත් අපේ අම්මා එම නමට විරුද්ධ වීම නිසා නම වෙනස් කෙරින.

මෑත කාලයේ ගත් කුකු ගේ චායාරුපයක් ..

කුකු ගෙන ඒමට පෙර අපේ බල්ලා වුයේ බ්‍රවනී ය. ඌ ඉතා සුවච කීකරු මෙන්ම අවශ්‍ය අවස්ථාවල සැර බල්ලෙකු විය. නමුත් බ්‍රවනී අකාලයේ මිය ගියේය. ගෙදර අය බ්‍රවනී මිය ගොස් දින කීපයක් යනතුරු සිටියේ අඬු කදුලිනි. එපමණක් නොව එතැන් පටන් වසරක් පමණ ගතවන තුරු බ්‍රව්නී සිහිකර පන්සලට අපි දන් දුන්නෙමු.

බ්‍රව්නී ට සමාන බලු පැටියකු අපේ ගෙදර සිට කිලෝමීටර හැටක් පමණ දුරින් පිහිටි හැටන් ප්‍රදේශයේ සිටින බව අපේ තාත්තා දැක ඇත. තාන්තා වහාම  එම බලු කුක්කා රැගෙන කාඩ්බෝඩ් පෙට්ටියක දමාගෙන බස් රථයක පටවා අපේ ගෙදර ආවේය. හැබැයි පෙනුමින් බ්‍රව්නි ට සමාන නමුත් මේ බල්ලාගේ හොඳ ගතිගුණ කිසිවක් නොතිබුණි. තිබුනේ අමු ම අමු බලු ගතිගුණය.

මු කල මුල්ම බලු වැඩේ රාත්‍රියේ කාගේදෝ කාන්තා යට ඇඳුමක් සොරා ගෙන විත් අපේ ගෙදර දොර ඉදිරිපිට දැමීමය. ඒ වනවිට කුකු යන්තම් ඇවිදිනවා පමණි.උදේ පාන්දර කුකු ගේ වික්‍රමය මුලින්ම  දුටුවේ අම්මාය. අපි වහාම කුකු සොරකම් කල භාණ්ඩය වල දැමුවේ එය නිසි අය්තිකරු ට භාරදුනොත් ප්‍රශ්නය විසඳෙන්නේ පොලිසියේ හෝ මානසික රෝහලෙන් බව දන්නා නිසාය. ඉන්පසු කුකුට හොදට කොටුවකින් සැලකීමට තරම් මම කාරුණික වීමි.

නමුත් කුකු හොඳ මගට වැටුනේ නැත. ටික කලකින් ඌ මහා දවලේද රෙදි සොරකම් ඇරඹීය. දින කීපයකට පසු කුකු පිරිමි යට ඇඳුමක් සොරා ගෙන ගෙට දුවගෙන අවේ හොඳහැටි වතුර නා ගෙනය.ඌ පසුපසින් දුවගෙන ආවේ අපේ ගෙදරට නුදුරු නිවසක් සාදමින් සිටි මේසන් බාසුන්නහේ  කෙනෙක් හා ගෝල පිරිසකි. ඔවුන්ගේ ප්‍රමාදයක් බලා කුකු පඳුරක වනා තිබුන ඇඳුම රැගෙන පලා විත් තිබුණි. මේ දුටු එක් අත් උදව කරුවෙක් පහර දීමට යමක් ළඟ පාත
නොවුයෙන් සිමෙන්ති ඇනීමට තිබුන වතුර බල්දියෙන් දමා ගසා තිබුණි. කුකු නාගෙන ආවේ ඒ නිසාය.

කුකු – බාස් ගැටුම මෙයින් නිමා උනේ නැත. දින කීපයකට පසු අති භයානක දෙයක් සිදුවීමට ගියේය කුකුට වතුර ගැසූ පුද්ගලයාගේ අහවල් ස්ථානය සපා කෑමට කුකු උත්සහ කරන ලදී. ඔහු ඉතා අපහසුවෙන් බේරී සෙසු අයගේ සහය ඇතිව කුකු ගල් මුල් ගසා කුකු පලවා හැර ඇත. මේසන් බාස් පිරිස මෙම අවනඩුවකීමට අපේ ගෙදරට ආවේ ද අහවල් තැන අතින් වසා ගෙනය. (කුකු අපේ ගෙදර කොහි හෝ සැඟවී යලිත් අපරාදයක් සිදු කරාවි යන බියෙන් ). කෙසේ හෝ ඉන් පසු
එම නිවසේ වැඩ නිමවෙන තෙක් කුකු දම්වැලකින් බැඳ තැබීමට කටයුතු කළෙමු.

කුකු ගේ බලු වැඩ එතනින් නිමා නොවීය. කුකු තුන් වේලටම අපේ ගෙදරින් බත් කෑවද මුර කරන්නේ අල්ලපු ගෙදරයි. බඩගිනි සැදුන  විට කෑමට පමණක් අපේ ගෙදරට  එයි.

එසේම ටික කලකට පසු ගම පුරාම කුකු පෙනුමැති චුටි බලු කුක්කන් ගෙයක් ගෙයක්, දොරක් දොරක් පාසා දැකිය හැකි විය. අදටත් එය එසේමය. කිවේ බලු වැඩ කීපයක් පමණි. තව බොහෝ දේවල් කුකු ගැන කිවහැක.  නැවත කිසි දිනක බල්ලෙක් නොහැදීමට අපි අදිටන් කරගෙන සිටිමු. මෙබඳු බලු ගති අති බල්ලකු කිසිවකුට කිසි දිනක ඇති කිරීමට නොලැබේවා යයි මම ප්‍රර්ථනාකරමි.

%d bloggers like this: