මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for July, 2012

ඉලෙක්ට්‍රොනික් අතුරු කතා 2

මෙහි මුල් කොටස මෙතනින් කියවන්න.

අපේ පාසල් ගීයේ එක් කොටසක් කැසට් පටියේ සටහන් වී තිබුනේ අඩු හඬකිනි. එම කොටස වාදනය වන විට සැනකින් ශබ්ද විකාශකයේ හඬ උපරිම වැඩි කිරීම මගේ පුරුද්දක් ව පැවතුනි. එවිට අසා සිටින්නකුට හඬේ සිදුවන වෙනස්වීම් නොදැනේ.

දිනක් උදැසන මම සහ පනුවා දුටුවේ නව කැසට් පටියක් ගෙනවිත් ඇති අයුරු ය. ඒ ගැන තැකීමක් නොකළ මම මෙදිනද සුපුරුදු ලෙස අදාල ගීත ඛණ්ඩයේදී උපරිම ශබ්දය ලබා දුන්නෙමි. නමුත් සාමාන්‍ය හඬ වෙනුවට කන් අඩි පැලෙන හඬින් පාසල් ගීය වාදනය වන්නට විය. මම දඩි බිඩි ගා හඬ අඩු කලද සියල්ල සිදුවී හමාරය. මුළු පාසලටම ඇසී හමාරය. එසැනින් එතනට දුව ආවේ ඉලෙක්ට්‍රොනික් ගුරුතුමා ය.

“මොකද මනුස්සයෝ සින්දුව ප්ලේ වෙන අතරේ වොලියුම් වැඩි කරේ?” ඔහු තදින් ඇසීය.

“ඉතින් සර් සවුන්ඩ් ඩ්‍රොප් එකක් සින්දුවේ තිබුණා නේ.” මම කීවෙමි.

“ඉතින් ඒකනේ මම අලුත් කැසට් එකක් ගෙනාවේ .දැක්කේ නැද්ද?

මම සහ පනුවා මුනෙන් මුන බලා ගත්තෙමු.

“දැන් ප්‍රින්සිපල් ට තද උනොත් මම නම් දන්නෑ. ඔයගොල්ලොම බලා   ගන්න.”   කි ඔහු පිටවී ගියේය.

“අඩෝ දැන් පිනා ට මල පැන්නොත් අපි මොකද බන් කරන්නේ?” පනුවා මගෙන් ඇසුවේය.

මම උඩ බිම බැලුවෙමි. අපිට කෙලින්ම ඉහලින් සවි කර තිබු ට්යුබ් ලයිට් එකේ කිසියම් දෝෂයක් හට ගෙන දැල්වෙමින් නිවෙමින් , නිවෙමින් දැල්වෙමින් ඇති බව උඩ බැලු විට මට පෙනුනි .
ඒ සමග පිනා දුර සිට පිඹගෙන එන බව අපිට දැක ගත හැකි විය. එන පොට හරි නැත. පිනා එන්නේ නිකම් නොව එක් අතක වේවැල ද රැගෙනය.

“මොකද මේ කන් අඩි පැලෙන්න ස්කුල් සෝන්ග් එක දාන්නේ? What’s the reason?”  ඔහු ගුගුලේය.

සර් මේ උඩ ටියුබ් ලයිට් එක අප්සට් වෙලා නේ.” (පිනා ද පත්තුවෙන නිවෙන බල්බය දෙස බැලීය ) මේ විදිහට ටියුබ් ලයිට් එකක් පත්තු වෙනකොට නිවෙනකොට එකේ බැලස්ට් එකෙන් emit වෙන electromagnetic radiation එක නිසා amplifier එකේ සුළි ධාරාවක් ප්‍රේරණය වෙලා, Pre amp එකට දෙන සෘණ ප්‍රතිපෝෂණය හන්දා  main output එකේ sound variations එන්න පුළුවන්…

මම එක හුස්මට කියා ගෙන ගියෙමි.

“ඈහහ් …” කී පිනා මා දෙසත් ටියුබ් ලයිට් එක දෙසත් තව වතාවක් බලා පැමිණි වේගෙන් ම පිටවී ගියේය.

මෙපමණ වෙලා දත් මිටි කාගෙන සිනාව රඳවාගෙන සිටි පනුවා උඩ පැන පැන හිනාවෙන්නට විය.
“මොකද්ද යකෝ ඒ කියපු කුනුහරුපේ තේරුම?” ඔහු විමසීය

“මම දන්නෙත් නෑ බන්. මම දැක්කා ඔය වචන සෙට් එක අපේ ඉලෙක්ට්‍රොනික් අච්චු පොතේ තියනවා.”  මම  කීවෙමි.

පසු දින සුපුරුදු රාජකාරියට වාර්තා කල මට හා පනුවාට දැක ගත හැකි වුයේ විදුහල්පති කාමරයේ පමණක් නොව අසල උපවිදුහල්පති කාමරයේ මෙන්ම කාර්යාල කොරිඩෝවේ පවා දීප්තිමත්ව අලුත්ම අලුත් ටියුබ් ලයිට් දැල්වෙන ආකාරයයි.

Advertisements

ඉලෙක්ට්‍රොනික් අතුරු කතා 1

අපගේ පාසලේ ජාතික ගීය , පාසල් ගීය සහ විදුහල්පති ගේ නිවේදන නිකුත් කරන ලද්දේ කාර්යාලයේ සවි කරන ලද කැසට් රේඩියෝවක් හා ඇම්ප්ලිෆයරක් ආධාරයෙනි. දිනපතා පාසැල ඇරඹීමට පෙර මෙම  උපකරණ පරික්ෂා කිරීම සහ නියමිත සීනු නාදයෙන් පසු ගීත වාදනය හා පසුව නිවේදන නිකුත් කිරීම සඳහා වසරකට වරක් 11 ශ්‍රේණියේ ඉලෙක්ට්‍රොනික් හදාරන සිසුන් කීප දෙනෙකු පත් කරනු ලබයි (මටද එම අවස්තාව හිමි විය). උපකරණ පරික්ෂා කිරීම ලෙස කරනු ලබන්නේ පාසැල ඇරබීමට අඩ පැයකට පමණ පෙර ජනප්‍රිය ඉංග්‍රීසි රේඩියෝ චැනලයක් සුසර කර එය පාසලේ සතර දිග ඇති ස්පීකර වලින් ශ්‍රවනය වන්නේදැයි සොයා බැලීමයි. මෙහිදී දෝෂ සහිත ස්පීකර හමු වුවහොත් ඒවා වහා ගලවාගෙන ඉලෙක්ට්‍රොනික කාමරය වෙත  ගොස් හදිසි සැත්කම් සිදු කරන ලද අතර එහි සාර්ථකත්වය ගැන කිසිවක් නොපැවසීම වඩා සුදුසුය.

මීට අට වසරකට පෙර (2004) දිනක් උදැසන මා ඉනිමගක් මත නැග සිටියේ පාසලේ ප්‍රධාන ගුරු විවේකාගාරයේ දොරට මදක් ඉහළිනි.ඒ දඬුවමක් ලබා නොව, ඒ අසල සවි කර තිබු ස්පීකරය අක්‍රියව ගොස් තිබු නිසාය. මගේ ආරක්ෂාව උදෙසා  ඉනිමග අල්ලා ගෙන පහලිනි සිටියේ පනුවා සහ සේරා ය. එම  ඉනිමග එක මත එක ලිස්සා යා හැකි කොටස් දෙකකින් යුතු ඇලුමිනියම් ඉනිමගකි.ස්වභාවිකවම මම උස් තැන් වලට බියක්දක්වන මම  මෙදින මගේ දෙපයේ වෙව්ලීම හැකි තරම් අවම කර ගෙන ස්පීකරය ගලවමින් සිටියෙමි. මේ අතර අපි ගැන ඉතා හොඳ අවබෝදයක් ලබා සිටි අපේ ඉලෙක්ට්‍රොනික් ගුරුතුමා ආරක්‍ෂිත පියවරක් ලෙස අප කරන කාර්ය දෙස බලා සිටියේ අඩි ගණනක් ඇත සිටය.

කෙසේ හෝ ස්පීකරය ගලවා ගත් මම දනී පනී ගා ඉනිමගෙන් බැසීම ඇරඹුවෙමි. මම පොලවට අඩිය තබනවා සමගම ඉනිමගේ උඩ කොටසින් හඬක් නැගුණි. එසැනින් විවෙකගාරයෙන් පිටතට ආවේ අපේ මනෝ විද්‍යා උපදේශන ගුරුතුමාය. නැවත හඬක් නිකුත් කල ඉනිමගේ ඉහල කොටස සරනේරුවෙන් පිටට පැන කෙලින්ම උපදේශන ගුරුතුමාගේ හිස මතට පතිත වන්නට විය. අනතුර ක්ෂණිකව වටහා ගත් ඔහු වහා පසකට පැන නොගත්තේ නම් සිසුන්ට මනෝ ප්‍රතිකාර දීමට තරම් ඔලුවක් ඔහුට ඉතුරු නොවන්නේය. සිහි එලවා ගත් පසු ඔහු අප දෙස හා ඉනිමග දෙස  රවා බැලු මුත් මුවින් නොබැන යන්නට ගියේ ඉලෙක්ට්‍රොනික ගුරුතුමා අප සමග සිටි හෙයිනි.කෙසේ හෝ ඔහුගේ ඔලුව කෙසේ වෙතත් තව  තප්පර කීපයක් මම ප්‍රමාද විනි නම් මෙම පොස්ටුව ලියන ජනිත් ට සිදු වන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා මෙන්, නගින්න ගිය ඉනිමගෙන් වැටී ඉනිමගත් හිස මතට වට්ටා ගන්නට ය.

මතු සම්බන්දයි

%d bloggers like this: