අපගේ පාසලේ ජාතික ගීය , පාසල් ගීය සහ විදුහල්පති ගේ නිවේදන නිකුත් කරන ලද්දේ කාර්යාලයේ සවි කරන ලද කැසට් රේඩියෝවක් හා ඇම්ප්ලිෆයරක් ආධාරයෙනි. දිනපතා පාසැල ඇරඹීමට පෙර මෙම  උපකරණ පරික්ෂා කිරීම සහ නියමිත සීනු නාදයෙන් පසු ගීත වාදනය හා පසුව නිවේදන නිකුත් කිරීම සඳහා වසරකට වරක් 11 ශ්‍රේණියේ ඉලෙක්ට්‍රොනික් හදාරන සිසුන් කීප දෙනෙකු පත් කරනු ලබයි (මටද එම අවස්තාව හිමි විය). උපකරණ පරික්ෂා කිරීම ලෙස කරනු ලබන්නේ පාසැල ඇරබීමට අඩ පැයකට පමණ පෙර ජනප්‍රිය ඉංග්‍රීසි රේඩියෝ චැනලයක් සුසර කර එය පාසලේ සතර දිග ඇති ස්පීකර වලින් ශ්‍රවනය වන්නේදැයි සොයා බැලීමයි. මෙහිදී දෝෂ සහිත ස්පීකර හමු වුවහොත් ඒවා වහා ගලවාගෙන ඉලෙක්ට්‍රොනික කාමරය වෙත  ගොස් හදිසි සැත්කම් සිදු කරන ලද අතර එහි සාර්ථකත්වය ගැන කිසිවක් නොපැවසීම වඩා සුදුසුය.

මීට අට වසරකට පෙර (2004) දිනක් උදැසන මා ඉනිමගක් මත නැග සිටියේ පාසලේ ප්‍රධාන ගුරු විවේකාගාරයේ දොරට මදක් ඉහළිනි.ඒ දඬුවමක් ලබා නොව, ඒ අසල සවි කර තිබු ස්පීකරය අක්‍රියව ගොස් තිබු නිසාය. මගේ ආරක්ෂාව උදෙසා  ඉනිමග අල්ලා ගෙන පහලිනි සිටියේ පනුවා සහ සේරා ය. එම  ඉනිමග එක මත එක ලිස්සා යා හැකි කොටස් දෙකකින් යුතු ඇලුමිනියම් ඉනිමගකි.ස්වභාවිකවම මම උස් තැන් වලට බියක්දක්වන මම  මෙදින මගේ දෙපයේ වෙව්ලීම හැකි තරම් අවම කර ගෙන ස්පීකරය ගලවමින් සිටියෙමි. මේ අතර අපි ගැන ඉතා හොඳ අවබෝදයක් ලබා සිටි අපේ ඉලෙක්ට්‍රොනික් ගුරුතුමා ආරක්‍ෂිත පියවරක් ලෙස අප කරන කාර්ය දෙස බලා සිටියේ අඩි ගණනක් ඇත සිටය.

කෙසේ හෝ ස්පීකරය ගලවා ගත් මම දනී පනී ගා ඉනිමගෙන් බැසීම ඇරඹුවෙමි. මම පොලවට අඩිය තබනවා සමගම ඉනිමගේ උඩ කොටසින් හඬක් නැගුණි. එසැනින් විවෙකගාරයෙන් පිටතට ආවේ අපේ මනෝ විද්‍යා උපදේශන ගුරුතුමාය. නැවත හඬක් නිකුත් කල ඉනිමගේ ඉහල කොටස සරනේරුවෙන් පිටට පැන කෙලින්ම උපදේශන ගුරුතුමාගේ හිස මතට පතිත වන්නට විය. අනතුර ක්ෂණිකව වටහා ගත් ඔහු වහා පසකට පැන නොගත්තේ නම් සිසුන්ට මනෝ ප්‍රතිකාර දීමට තරම් ඔලුවක් ඔහුට ඉතුරු නොවන්නේය. සිහි එලවා ගත් පසු ඔහු අප දෙස හා ඉනිමග දෙස  රවා බැලු මුත් මුවින් නොබැන යන්නට ගියේ ඉලෙක්ට්‍රොනික ගුරුතුමා අප සමග සිටි හෙයිනි.කෙසේ හෝ ඔහුගේ ඔලුව කෙසේ වෙතත් තව  තප්පර කීපයක් මම ප්‍රමාද විනි නම් මෙම පොස්ටුව ලියන ජනිත් ට සිදු වන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා මෙන්, නගින්න ගිය ඉනිමගෙන් වැටී ඉනිමගත් හිස මතට වට්ටා ගන්නට ය.

මතු සම්බන්දයි