මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for March, 2014

සංදේශ කවි සහ ඇනෝ කවි

Oxford online ඩික්ෂනරි එකේ සඳහන් වන ආකාරයට anonymous ලෙස හඳුන්වන්නේ “(Of a person) not identified by name; of unknown name” කියලා. ඇනෝ concept එක අළුත් එකක් වගේ හිතුනට ඒක  සෑහෙන පරණ සංකල්පයක්. ගුත්තිල කාව්‍ය කියන්නේත්  ඇනෝ කවි පොතක්. ගුත්තිල කාව්‍ය ලිව්වේ වෑත්තැවේ හාමුදුරුවෝ කියල කිව්වට ඒක මුඛ පරම්පරාගත කීමක් මිස කතුවරයා ගැන කිසිම සඳහනක් පොතේ හෝ ඒ සමකාලීන ඉතිහාසයේ දැක්වෙන්නේ නෑ. තව ඇනෝ කවි පොත් ඕන තරම් සිංහල සාහිත්‍යයේ තියනවා. ගිරා සංදේශය, පැරකුම්බා සිරිත, තිසර සංදේශය, සසදාවත, මුවදෙව්දා වත උදාහරණ කීපයක් විතරයි.

Anonymous

මගේ පුද්ගලික මතය ගුත්තිලය සහ තිසර සංදේශය එකම කෙනෙක් ගේ නිර්මාණයක් බව. ගුත්තිලයේ දිව්‍යන්ගනාවන් ගේ වර්ණනාව මතකයි නේ. (කොහොම අමතක වෙන්නද නේද? :D) බලන්න තිසර සංදේශයේ තියන සමානකම.

නිලුපුල් දිගැසී  තන රන්           කලසී

සිදුලිය සදිසි සියුමැලි             දිගැසී

රඟ බැස නොලාසි රඟ දෙන    විලසි

දුටු එම විගසි මද තෙමෙ         ඇවිසි


මේ ගොඩක් ඉස්සර, ඒ කියන්නේ ජනිත්ට අවුරුදු හතක් අටක් කාලේ වෙච්ච් දෙයක්. ජනිත් පොඩි කාලේ කියවපු කවි පොතක් තමයි සිරිත් මල්දම. එක දවසක් ජනිත් ගේ නෑදෑයෝ කට්ටිය ඔක්කොම සෙට් වෙච්ච වෙලාවක ජනිත් දැක්කා ගාමිණී අය්යා හොටු පෙරාගෙන ඉන්නවා. ගාමිණී අය්යා කිව්වේ ජනිත් ගේ පුංචි කෙනෙක් ගේ පුතෙක්. ආය දෙපාරක් හිතුවේ නැහැ ජනිත් කටපාඩමින් කිව්වා සිරිත් මල්දමේ කවියක් ගමටම ඇහෙන්න.

සෙම් සොටු පෙරා                    ගෙන

කුණු කෙල වයිරිලා                  ගෙන

දැලි කුණු තවර                        ගෙන

ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු   තැන

නෑයෝ ඔක්කොම බක බක ගාල හිනා වෙන අතරේ ගාමිණි අයියා දිව්වා ලේන්සුවක් හොයන්න.

Little-boy-sneezing-300x294


ඊට ගොඩ කාලෙකට පස්සේ ජනිත් කැම්පස් ආවා. ඔය “මං ගැන” page එකේ තියෙන්නෙත් කැම්පස් එකේ ජනිත් හිටපු හැටි ඇසින් දුටුවකු ඇඳපු චිත්‍රයක් නේ. හැමදාම අළුපාට සයිඩ් බැග් එකයි අරගෙන ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහල එක අතක නිල් පාට ෆයිල් එකකුයි අනික් අතේ අලි සයිස් නොකියා 6680 ෆෝන් එකකුයි අරගෙන තමයි එන්නේ. පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමිස්ටෙර් exam  එකට කලින් දවසේ ඔහොම එනකොට ජනිත් දැක්කා  ලස්සන ගෑණු ළමයෙක් තිරස් අක්ෂයේ සරල අනුවර්තීය චලිතයක පැද්දී පැද්දී ඉස්සරහින් යනවා. පරණ විදිහට කවියක් නොකියා මතකෙට ආව සින්දුවක් sms එකක් වෙලා අර nokia 6680 එකෙන් ගියා ගෑණු ළමයාගේ ෆෝන් එකට මෙන්න මෙහෙම

මල් බර        හිමිදිරියේ

කොයිබද     සමනලියේ

යන්නේ        හිරුඑළියේ

කියන්න       සියුමැලියේ

හැරෙන තැපෑලෙන් මෙන්න ඒකට ආව reply එක

සීතල මද                  පවනේ

මම කුප්පියකට         යන්නේ

exam හෙට               ඇත්තේ

නොගියොත් ඇන     වෙන්නේ

ඇන වෙනවා කියන්නේ exam fail වෙන එකටයි. කුප්පිය කියන වචනේ තේරුම නම් දන්නවා ඇති නේ.

depositphotos_5950179-Girl-in-love


මේ තියෙන්නේ මෑත කාලේ ලියවුන කතෘ අවිනිශ්චිත කවි වගයක්. ලස්සන නිසා දැම්මා. ලිව්වේ කව්ද කියල මම නම් දන්නේ නෑ .

 

සිහිනෙන් වගේ මුව මල් සිනා         මැවේ

පාළු මගේ සිතේ රන්වන් රුවක්     මැවේ

මිණි මුතු     අමුණා

මිමිණු         වදනින්

කෝලව     මා සිත

සැනසුනි     රහසින්

සුළි සුළං මහ වැහි     මැදින්

නුබේ සෙනේ ගඟුල     ගලයි

එදා මෙන්         අදත්

නුබේ නෙතු අග මා     රැකෙයි

රන්වන් රිවි         කිරණේ

සියපත රැඳී පිනි     කැකුලේ

සිහිලස කැටි කර     ගන්නේ

නුබේ හද තවරා     යන්නේ

පරණ කතා

වළලු බ්ලොග් එක ලියන වළලු නංගි  මං ගැනත් ලියා තියනවා කියා දන්නේ පොස්ට් ඒක පබ්ලිස් කර වසර ගණනකට පසුය. කොහොමත් උණු උණුවේ කතාවක් ලියනවට වඩා ඇල් මැරුණ කතාවක් දැමීමේ වාසිය කතාවට සම්බන්ද බොහෝ අයටද ඒ වන විට කතාව අමතක වී තිබුන කොටස් යලි මතක් වීමයි.  මටත් එසේමය. වළලු කියවූ පසු පුර්වාපර සන්දි කිහිපයක් ගැලපී මට පරණ කතා කීපයක්ම මතක් විය.

දැන් නම් නගර සභාව මගින් හෝටල් වල පිරිසිදුකම ගැන ශ්‍රේණි ලබා දීම සිදු කරද අපි සරසවියේ සිටි කාලයේ එවැනි ක්‍රමයක් භාවිතෙය් නොතිබුණි.

වර්තමානයේ මෙම ශ්‍රේණි ක්‍රමය අනුව (A) ඉතා සතුටුදායක, (B) සතුටුදායක  (C) සාමාන්‍ය හා (D) අසතුටුදායක ලෙස ශ්‍රේණි ලබා දේ. නමුත් එකල පරිහෝජනයට සුදුසු හෝටල තෝරා ගැනීමට අප යොදා ගත්තේ පරිසර විද්‍යාවට ඉගෙන ගත් ජෛව නිදර්ශක ක්‍රමයයි. පරිසර පද්ධතියක තත්වය නිර්ණය කිරීමට යොදා ගත හැකි ජීවී විශේෂ ජෛව දර්ශක (Bioindicator) ලෙස හැඳින්වේ. ඒ අනුව අපේ බෝඩිමේ මම ටාසන් හා කැප්ටන් ගේ සවුක්ය තත්වය සෑම ප්‍රධාන අහාර වේලකට පසු මොනිටර් කර පිරිසිදුකම ගැන ශ්‍රේණි ලබා දුන්නෙමු.

tissue culture

අපේ අඩුම ප්‍රතිශක්තිකරණයක් තිබුනේ කැප්ටන් හටය. ඒ කෙසේද යත් සම්පුර්ණයෙන්ම ජීවානුහරණය කරන ලද කෑමක් මිස වෙන දෙයක් ඌට කෑමට නොහැකිය. හැකිය. නමුත් කෑම හමාර කරන්නත් පෙර යෑම ඇරබේ. ඒ අනුව කෑම වේලක් කා කැප්ටන් නිරුපද්‍රිතව ඉහෙන් බහින ලෙඩක් නැතුව සිටී නම් එය ඉතා සතුටුදායක A ශ්‍රේණියේ හෝටලයකි.

සම්පුර්ණයෙන් ජීවානුහරිත තත්ව තබා ගැනීම ලේසි පහසු දෙයක් නොවේ. එකේ අමාරුව දන්නේ සෙල්ලමට හෝ සබ්ජෙට් එක කල එකෙක් මය. කොහෙන් හෝ කොන්ටමිනේෂන් වීම  සිදුවේ. ෆුල් ස්ටේරිලයිස් කියා රෝපණ මාද්යයේ කොස් පැල ටිෂු කල්චර් කලොත් ලැබෙන්නේ දෙල් පැල ය. ඉඳ හිට ඉහඳ පණුවන් ද කල්චර් වී ලැබේ. ඕපපාතිකව පහල වේ. 😀

කැප්ටන් ට අවුල් ගියද මට අවුලක් නැත්නම් එය සතුටුදායක මට්ටමේ B ශ්‍රේණියේ හෝටලයකි.

මටත් අවුල් නම් එය සාමාන්‍ය C ශ්‍රේණියේ හෝටලයකි.

asamodagam

ටාසන් හට බඩේ අමාරුවක් සැදුන දිනයක් මතක නැත. ඒ නිසා කිසිදු හෝටලයක් ඉතා අසතුටුදායක ලෙස D ශ්‍රේණියේ වර්ගීකරණය නොවීය. නමුත් කැප්ටන් හට එවැනි වාසනාවක් නොතිබුණි. බොහෝ දිනවල ඔහුට ප්‍රීතීන් සුඛා ආහාරත්ථිඨිකා  යන ගාථා පාඨය අනුව යමින්  දිව්‍ය තල වල වාසය කරන දෙවියකු මෙන් ප්‍රීති සුඛ අහාර කරගෙන වාසය කිරීමට සිදුවිය. අපේ වර්ගීකරණයේ නිවරද්‍ය භාවය ගැන කැප්ටන් ගේ කාමරයේ තිබුන හිස් අසමෝදගම් බෝතල් සාක්ෂි දරනවා ඇත.

%d bloggers like this: