මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for August, 2015

අගෝස්තු 25

ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?

උගුරේ පොඩි ආසාදනයක්  ඇවිත් කන්න බොන්න කතා කරන්න අමාරු වෙලා හිටපු මොහොතක ලැබුන බරපතළ අනතුරු ඇඟවීමක් ඒක. මොකද එකට හේතුව විදිහට පහුගිය දවස් වල සෙල්ලම් දදා හිටපු තරමක් විෂ (තරමක් කිව්වට ඊට වඩා ටිකක් විතර වැඩි ) රසායනික සංයෝග කීපයක් ශරීරගත උනාද කියලා ගැන සැක ඇතිවීම. මුලදී නම් හිතුනා මැරුණත් කමක් නෑ කියලා. මොකද මැඩම් කියුරි  මගේ වීරවරියක්. නොබෙල් තෑග්ග භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකටම ලබා ගත්ත එකම විද්‍යාඥයා ඇය පමණයි. හැබැයි බඩගින්නේ තරමට කෑම ගිල ගන්න අමාරු වෙද්දී එක්කෝ නොබෙල් තෑග්ගත් ඕන නෑ කියලා හිතුනා.

IMG_1563

මේ සිද්දිය උනේ ගිය 25. ඒ කියන්නේ ජනිත් ගේ  උපන්දිනේ දවසේ. අගෝස්තු 25 දවසේ වැදගත්කම ගැන ගුගල් දෙය්යා ගෙන් බැලුවම මට පෙනිච්ච දෙයක් තමයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ගණනාවක් ම එදාට ඉපදිලා…, අනේ නෑ ඉපදිලා නෙවෙයි මැරිලා තියෙන දවසක් වීම. අනික් විශේෂත්වේ මේ මියගිය විද්‍යාඥයෝ ගොඩක් අය ජනිත් ගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් වීම.

ජනිත් ගේ ප්‍රධාන විනෝදාංශයක් වෙන තාරකා විද්‍යාවේ වැදගත් පුද්ගලයන් දෙන්නෙක් මිය ගිහින් තියෙන්නේ අගෝස්තු 25. එක්කෙනෙක් තමයි අපේ චන්ද්‍රයාට ඉස්සලම පයගහලා තියන නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඔහු මියගියේ 2012 අගෝස්තු 25. අනිත් කෙනා තමයි 18 වෙනි සියවසේ හිටපු විශිෂ්ඨතම තාරකා විද්‍යාඥයා වෙච්චි විලියම් හර්ෂල්. සෞර ග්‍රහ මණ්ඩලේ හත්වෙනි ග්‍රහයා වුන යුරේනස් ඔහුගේ ප්‍රධාන සොයාගැනීමක්. මීට අමතරව සෙනසුරුගේ චන්ද්‍රයන් වුන මීමාස් හා එන්සේලාඩස් (එන්සේලාඩස් හරි වැදගත්. මාතර ඇරුනම හුම්මානය දකින්න ලැබෙන්නේ මුළු සෞර ග්‍රහ මණ්ඩලේන්ම එහෙ විතරයි) වගේම යුරේනස් ගේ ටයිටානියා සහ ඔබරෝන් ඔහුගේ සොයා ගැනීම් වෙනවා. ඔහු මියගියේ 1822 අගෝස්තු 25.

විද්‍යුතය හා රසායන විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් රැසක් කරපු මයිකල් ෆැරඩේ මැරිලා තියෙන්නේ 1867 අගෝස්තු 25. විදුලි මෝටරය, ඩයිනමොව, හා විද්යුත් විච්චේදන මූලධර්ම වලට අමතරව දන්නවද බෙන්සීන් හොයා ගත්තෙත් ඔහු බව?

විකිරණශීලීතාවය හා ප්‍රකාශ විද්යුත් ආචරණය සොයාගත් හෙන්රි බෙකරල් මියගියේ 1908  අගෝස්තු 25. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභියකු වුන බෙකරල් ගේ නොබෙල් ප්‍රකාශ විද්යුත් ආචරණය පසුකාලයේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය වෙත පදනම දැමුවා.

තව සැහෙන ගාණක් හිටියට දැනට ඔය ඇති. අනේ අගෝස්තු 25 උපන්දිනේ සමරන දන්න අඳුරන විද්‍යාඥයෙක්ට ඉන්නේ හැන්ස් ක්රෙබ්ස් විතරයි. අර ස්වායු ශ්වසනයේ ට්‍රයිකොබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියාව එහෙම නැත්තන් ක්රෙබ්ස් චක්‍රය හොයා ගත්ත කෙනා. එත් කමක් නැහැ. එයත් නොබෙල් තෑග්ග දිනපු කෙනෙක්.

ප.ලි. “මගෙත් කැමතිම විෂය තමයි chemistry” මගේ රෝග ඉතිහාසය අහල බෙහෙත් ලියන ගමන් අපේ දොස්තර නෝනා කිව්වා. 😀

%d bloggers like this: