අද ටිකක් සීරියස් කතාවක් කියන්න හිතුනා. විදේශ අධ්‍යාපනය කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් ගේ හීනයක්. මේ හීනය හැබෑ කර ගන්න ගොඩ දෙනෙක් විශාල ධනස්කන්ධක් වැය කරනවා. ඉරිදා ඔබ්සර්වර් පත්තරේ education අතිරේකය නිකමට වගේ අරන් බලන්නකෝ. එතකොට දල අදහසක් ගන්න පුළුවන් ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියන වෙළඳපොලේ  දිග පළල වගේම වියදම ගැනත්. හැබැයි ටිකක් හොයලා බැලුවොත් සහ කම්මැලි නැත්නම් නම් බොහොම අඩු වියදමින් හෝ වියදමක් නැතිවම විදේශ ශිෂ්‍යත්ව ලබා ගන්න බැරි නැහැ. අද කතාව ඒ ගැන.

පළවෙනියට බලමු මේකට ඕන මුලික සුදුසුකම්. මේක ටිකක් සංකීර්ණ වගේම එකින් එකට වෙනස් වෙන දේවල්. නමුත් පොදු සාධක මම පෙලගස්සන්නම්.

  1. භාෂාව

ගොඩක්ම ජාතන්තර විශ්ව විද්‍යාල වල ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් බොහෝවිට ඉංග්‍රීසි දැනුම මනින්නේ අපේ අ.පො.ස. විභාග වලින් නම් නෙවෙයි. මේ සඳහා වැඩියෙන්ම පාවිචිචි වෙන්නේ IELTS හෝ TOFEL කියන විභාග. හැබැයි ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව නොවන රටවල සමහර වෙලාවට ඒ රටේ භාෂා වලින් ඉගෙන ගන්න වෙන අවස්ථා තියනවා. උදාහරණ විදිහට ජපන්, කොරියන්, චීන, රුසියානු, ස්වීඩන් වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. එතකොට ඊට අදාල භාෂා ප්‍රවීණත්වය ලබා ගන්න වෙනවා.

  1. අධ්‍යාපන කුසලතා

ප්‍රතිපල වල A අකුරු වැඩිවෙන තරමට හොඳයි. මුලික උපාධිය කල කෙනෙක් නම් GPA අගය වැඩි වෙන තරමට හොඳයි. නමුත් මතක තියා ගන්න ශිෂ්‍යත්ව වලට අයදුම් කරන හැම දෙනාටම මේ 1 සහ 2 කුසලතා ඇති බව. ඒ නිසා වඩා වැදගත් 3 වෙනි සාධකය.

  1. පර්යේෂණ හෝ ව්‍යාපෘති

මේක තමයි ගොඩ දෙනෙක්ට නැති දේ. අපි ගොඩක් වෙලාවට විහාග ප්‍රතිපල පස්සේ දුවන එක සහ පාඩම් කරන එක විතරනේ කරන්නේ. නමුත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මුලිකම දේ තමයි දැනුම නිර්මාණය. ලංකාවේ පාසල් වල විතරක් නෙවෙයි, විශ්ව විද්‍යාල වල උනත් බොහෝ විට පවතින්නේ ගිරවා න්‍යාය. (එකනේ අපේ දැනුම නිර්මාණය මෙච්චර දුර්වල. එනිසා වෙන්නේ උගත් උනත් අලුත් දැනුමට බය වෙන පිරිසක් නිර්මාණය වෙන එක) එය ඉතා කණගාටුදායකයි. ඔබ උසස් පෙළ ශිෂ්‍යයෙක් නම් ඔබගේ පාසල් ව්‍යාපෘතිය, වගේම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් අවසන් වසර පර්යේෂණ වයාපෘති ඉතා තීරණාත්මක සාධක වෙනවා.

බොහෝ විට සාමාන්‍ය උපාධි හදාරන අයට අවසන් වසර පර්යේෂණ වලට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ හදාරලා තියෙන්නේ සාමාන්‍ය උපාධියක් නම් Optional subjects ලෙස හෝ පර්යේෂණ ක්‍රමවේද හදාරා තිබීම සහ පර්යේෂණ වල නියැලී සිටීම ඉතා වැදගත්. එහෙම නැත්නම් පස්චාත් උපාධියක් මගින් ඒ අවශ්‍යතාවයන් සම්පුර්ණ කරගන්න පුළුවන්. (මටත් විශේෂ උපාධියක් නැහැ.)

ඒ වගේම එම ප්‍රථිපල ස්වතන්ත්‍ර (first author publication) ලෙස ජාත්‍යන්තර ජර්නලයක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. අමාරු වැඩක් නමුත් කරන්න පුළුවන්. අඩුම ගානේ abstract එකක් විදිහට හරි ප්‍රකාශයට පත් කරලා තියන එක හොඳයි.


 

දැන් මම කියන්න යන්නේ ශිෂ්‍යත්ව වර්ග සහ ඒවා  හොයා ගන්නේ කොහොමද කියලා කියලා. මේ නිකන් මමම හදා ගත්ත වර්ගීකරණයක් විතරයි.

  1. රාජ්‍ය සහ අන්තර්ජාතික ආයතන ශිෂ්‍යත්ව

මේ කාණ්ඩයේ ශිෂ්‍යත්ව එන්නේ බොහෝ විට රජය හරහා. ඒ නිසා ඇමති ලිස්ට් වලින් ගන්න කව්රුත් නැත්නම් හරි වගේ තමයි චාන්ස් එකක් එන්නේ. අපේ අධ්‍යාපන අමාත්‍යංශ වලට අදාල වෙබ් අඩවි වලින් විස්තර හොයා ගන්න පුළුවනි. මුලික උපාධි, පස්චාත් උපාධි, පර්යේෂණ උපාධි වගේ ඕනෑම වර්ගයක් තියනවා.

උදාහරණ :

අධ්‍යාපන අමාත්‍යංශ ශිෂ්‍යත්ව

උසස් අධ්‍යාපන අමාත්‍යංශ ශිෂ්‍යත්ව

ආයතනික ශිෂ්‍යත්ව කියලා අදහස් කාලේ ලෝක බැංකුව, පොදු රාජ්‍ය මණ්ඩලය වගේ ලෝක මට්ටේමේ ආයතන වල ශිෂ්‍යත්ව. මෙන්න උදාහරණ කීපයක්.

පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව

සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා ලෝක බැංකු ශිෂ්‍යත්ව

  1. විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන ශිෂ්යත්ව

ලෝකේ බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන තමන්ගේ ප්‍රතිරූපය නංවාගන්න දක්ෂයන්ට අවස්ථාව දෙනවා. තමන් කැමති විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට යන්න විතරයි තියෙන්නේ. ඒ වගේම මේ වෙනුවෙන්ම තොරතුරු ඇතුලත් නාමාවලි තියෙනවා. ඒවායින් තොරතුරු ගන්නත් පුළුවන්. මුලික උපාධි, පස්චාත් උපාධි, පර්යේෂණ උපාධි වගේ ඕනෑම වර්ගයක් තියනවා. හැබැයි අවස්ථාවක් ගන්න චීන සහ ඉන්දියානු ශිෂ්‍යන් එක්ක තරගයක් දෙන්නට සිදු වෙනවා.

උදාහරණ : යුරෝපා ශිෂ්‍යත්ව සඳහා

  1. ප්‍රතිපාදන හා පුද්ගලික ශිෂ්‍යත්ව

මේ තමයි හොයා ගන්න අමාරුම වර්ගය. හැබැයි හොයා ගන්න පුළුවන් උනොත් ලැබෙන්න ඉහලම සම්භාවිතාවක් තියන වර්ගය. මතක තියා ගන්න මේවා කවුරුත් ලගට ගෙනත් දෙන්නේ නැහැ. ඒ වගේම ඉතා සුළු අවස්ථාවල ඇර advertise කරන්නෙත් නැහැ. ගොඩක්ම තියෙන්නේ පර්යේෂණ උපාධි. මෙතැනදී අපි සම්බන්ද කරගන්න ඕන අවශ්‍ය විෂය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. ඔහු හෝ ඇය හරහා තමයි ශිෂ්‍යත්වය ලැබෙන්නේ. මෙහිදී තියන වාසිය තමයි අපිට තරග කරන්න වෙන්නේ කීපදෙනෙක් සමග පමණයි. ඉතින් අපේ විශේෂ සුදුසුකමක් highlight උනොත් වැඩේ හරියන්න ලොකු හැකියාවක් තියනවා.

දැන් ඊලග ප්‍රශ්නේ කොහොමද මේවා හොයා ගන්නේ. කලින්ම කිව්වා නේ මේවා advertise කරනවා අඩුයි කියලා. අඩන්න ඕන කිරි එරෙන්න වගේ විශ්ව විද්‍යාල වෙබ් අඩවිය හරහා විදුලි ලිපිනය ලබාගෙන අදාල කෙනා සම්බන්ද කර ගෙන අවස්ථාව තියනවද කියලා අහල බලන එක කරන්න ඕන. තමන් හදාරන්න බලාපොරොත්තු වෙන විෂය ගැන විද්වතුන් ගේ ලැයිසිතුවක් හදලා බොහොම ආචාරශීලී හා වෘත්තීයමය (Polite and Professional) ලෙස ඉල්ලලා බැලුවොත් අවස්ථාවක් නැතත් අවස්ථා තියන තැනකට යොමුකිරීමේ හෝ හැකියාවක් තියනවා.

 


හරි. දැන් බලමු අයදුම් කරන පිළිවෙල.

මුලින්ම තමන් කැමති මොන විෂයක් ඉගෙන ගන්නද කියන එක තීරණය කරන්න.

ඊට පස්සේ ඊට අදාල විශ්ව විද්‍යාල/ය  හෝ පරීක්ෂණ ආයතන/ය වෙබ් අඩවියට ගිහින් අදාල මුලික සුදුසකම් හොයලා බලන්න. ඊට පස්සේ ඒ සුදුසුකම් සපුරා ගන්න. උදාහරණ විදිහට බොහෝ ඇමරිකානු විශ්ව විද්‍යාල ඉංග්‍රීසි සුදුසකම් ලෙස සලකන්නේ TOFEL.

ඊට පස්සේ ඊට අදාල විශ්ව විද්‍යාල/ය  හෝ පරීක්ෂණ ආයතන/ය වෙබ් අඩවියට ගිහින් අදාල වෙනත් සුදුසකම් ගැන දැනුවත් වෙන්න. උදාහරණ විදිහට ඔබගේ විෂයට අදාළ GRE විහාගය බොහෝ ඇමරිකානු විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ මුලික සුදුසකම් අතරට වැටෙනවා. නමුත් GRE වෙනත් ඕනෑම විශ්ව විද්‍යාලයක අතිරේක සුදුසුකමක්.

ඊලගට අදාල විශ්ව විද්‍යාල/ය  හෝ පරීක්ෂණ ආයතන/ය ශිෂ්‍යත්ව ලබා දෙන කාල සීමාවන් ගැන දැනුවත් වෙන්න. Spring සහ fall විදිහට ශිෂ්‍යන් බඳවා ගන්න කාල වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට වසරේ ඕන කාලයක අයදුම් කරන්නත් පුළුවන්.

අදාල කාලසීමාව තුල අයදුම් කරන්න. බොහෝ විට අයදුම්පතට අමතරව ඔබේ ජීව දත්ත සහ මෙම අවස්ථාවට ඔබ සුදුසු ඇයි යන්න හඳුනාදෙන cover letter එකක්, ඔබේ ඉදිරිපත් කරන්න වෙයි. ඔබ පර්යේෂණ උපාධියක් හදාරන්නට බලාපොරොත්තු වේ නම් Research proposal එකක් සමහරවිට ඉදිරිපත් කරන්න වෙයි.

එහෙනම් ජය වේවා. ගොඩක් ලොකු මාතෘකාවක් පුළුවන් තරම් කෙටි කරා. ප්‍රශ්න තියනවා නම් අහන්න. හැකි පමණින් උපදෙස් දෙන්නම්.