IFS ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය. දකුණු පැත්තේ ස්ටිකර් එක අනුව ලංකාවට ජපානෙන් ලැබිලා තියෙන්නේ මම උපන් අවුරුද්දේ.

මට මතක විදිහට අපි අන්වීක්ෂ ගැන ඉගෙන ගන්නේ 9 වසරේදී විතර. ඉතින් එතකොට ආලෝක සහ ඉලෙක්ට්‍රොන විදිහට අන්වීක්ෂ දෙවර්ගයක් තියනවා කියලා රූප එහෙම ඇඳලා නම් කරනවා. ඉතින් විද්‍යාව ප්‍රැක්ටිකල් එකට නීති කෝටියක් දාල තමයි ඉස්කෝලේ lab එකේ ආලෝක අන්වීක්ෂයෙන් බලන්න දෙන්නේ. හැබැයි ඇහැ තියලා බලනවා විතරමයි. අපිට මුකුත් සීරු මාරු කරන්නේ එහෙම දෙන්නේ නැහැ. මොකද අනික් අතට අපේ අයියලා ඕක පෝකස් කරන්න ගියොත් ඉස්කෝලේ බංකොලොත් වෙන්නේ අලුත් glass slide වලට වියදම් කරලා.

හැබැයි පස්සේ කැම්පස් ගියාමත් ඊට අමාරුයි. එක ඇහැකින් බලන ගමන් අනික් ඇහෙන් රූපේ අදින්න ඕන. අනික පොත් වල ලස්සනට ඉන්ද්‍රිකා එක්ක සෛල තිබ්බට අපි specimen එකක් හැදුවොත් පෙන්නේ සෛල බිත්තියයි රික්තකයයි විතරයි.  (ඊට පස්සේ රික්තකෙට නයෂ්ටිය කියලා නම් කරලා ලකුණුත් නෑ)

ඔහොම ආලෝක අන්වීක්ෂ එක්ක ඉඳලා මුලින්ම ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයක් හැබෑටම මට දකින්න ලැබෙන්නේ IFS ආවට පස්සේ. දැන් නම් මගේම වගේ හුරුබුහුටි ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයක් අපේ විද්‍යාගාරයේ තිබ්බට ඒ දවස් වල මේ පෞරානික අන්වීක්ෂය මම දැක්කේ සැහෙන්න අධි තාක්ෂණික දෙයක් විදිහට. ඉතින් මටත් වඩා වයස සහ ක්‍රියාත්මක නොවන තත්වයේ තිබ්බත් දැක්ක ගමන් ෆොටෝ එකක් ගහගන්න අමතක කරේ නැහැ. උඩ තියෙන්නේ ඒ ෆොටෝ එක.

ඔය අතරේ මගේ පරීක්ෂණ පත්‍රිකාවකට නැනෝ තන්තු වල ඉලෙක්ට්‍රොන අන්වීක්ෂ චායාරුපයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වෙන තත්වේ  ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දෙකයි තියෙන්නේ. එකක් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ භූ විද්‍යා අංශයේ. අනික ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හෙවත් SLINTEC එකේ. ඉතින් ගාන අඩු සහ අත ළඟ තිබ්බ පේරාදෙණියට සාම්පලයක් යැව්වා. අපි නැනෝ තන්තු වල චායාරුපයක් තමයි බලාපොරොත්තු උනේ. හැබැයි ටිකක් අමුතු තන්තු වගයක් තමයි අපිට දැකගන්න ලැබුනේ. ඒ ගැන වැඩි දෙයක් කියන්නේ නැතුව ඒ ෆොටෝ එක සහ ඊට ලැබුන facebook ප්‍රතිචාර වල screen shot එකක් පහලින් දැම්මා බලාගන්නකෝ.

Screenshot_2019-09-08_12-08-16

 

ෆොටෝ එක පොඩ්ඩක් වෙනස් උනා කියලා අපි සැලුනේ නැහැ. මෙන්න සම්පුර්ණ පරීක්ෂණ වාර්තාව. වෙන වැඩක් නැත්තම් විතරක් කියවන්න.