IFS එක ගැන පෝස්ට් කීපයක්ම ලිවුවත් ඔතන මුලින්ම ලියන්න ඕන දේ තමයි කොහොමද එතනට මම සම්බන්ද උනේ කියන එක. කැම්පස් ෆයිනල් විභාගේ ලියලා දවස් දෙකෙන් රස්සාවට ගිය මට ඩිග්‍රි එක ගත්තට පස්සේ දිගටම ඉන්ඩස්ට්‍රියල් පැත්තේ ඉන්නවා මිස ආය ඇකඩමික් එන්න මට ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඔය අතරේ තමයි මම හිටපු කොම්පැනියට වැහීගෙන යන්න පටන් ගන්නේ. දැන් ඉතින් කියන්න එපා මම හිටපු නිසා තමයි ඒ කොම්පැනියත් වැහුනේ කියලා. ඔය ඉදලා හිටලා පොඩි පොඩි සිදුවීම් නම් උනා. ඒවා ලියලත් ඇති පහුගිය පොස්ට් වල.

කොහොම හරි ඔය අතරේ තමයි මම දකින්නේ IFS එකේ ඇබෑර්තු දැන්වීමක්. ඒත් මම ඉල්ලුම් කරේ නැහැ. මොකද මම හිතුවේ නැහැ මම එතනට සුදුස්සෙක් කියල.කොහොම හරි ඉල්ලුම්පත් බාර ගන්න අන්තිම දවසේ මට කතා කරනවා එක්සත් ජනපදේ ඉන්න, පන්හිදක අරුමය බ්ලොග් එක ලියන ඉරෝශා. ඒ වෙනකොටත් එයා තමන්ගේ ආචාර්ය උපාදිය පටන් අරගෙනයි තිබුනේ. ඉතින් ආගිය තොරතුරු කියන ගමන් මට කියවෙනවා අපේ කොම්පැනිය බන්කොලොත් වේගෙන යන බව. ගත් කටටම ඇය මගෙන් අහන්නේ ඇයි IFS apply කරන්නේ නැත්තේකියන එක. මගේ උත්තරේ සරලයි. “ඩිග්‍රිය ජෙනරල්“. එතනින් එහාට කතාව ලියන්න මට හරියටම මතක නෑ එයා මොනවා කියලා මට බැන්නද කියලා. සත්තු වත්තේ ඔක්කොම සත්තුන්ගේ නම් මම අහ ගත්ත බව සහ වදෙන් බේරෙන්න ඕන නිසා CV එකක් දාන්න පොරොන්දු උන බව විතරයි මට මතක. (මේ පෝස්ට් එක දාන අද උදෙත් බැන්නා කරපු වෙන ගොන් වැඩකට)

කොහොමහරි ඔන්න ටික දවසකින් එනවා ලියුමක් ඉන්ටර්විවි එන්න කියලා. මමත් ඉතින් බොහොම කැමැත්තෙන් ගියා. මොකද ගෙදර ඉදන් හූවක දුරින් තිබ්බට මම කලින් කවදාවත් අඩිය නොතියපු හැබැයි එක පාරක් හරි අඩියක් තියන්න කැමැත්තෙන් හිටපු තැනක් නිසා. සාමන්යෙන් ඉන්ටර්විවි එකක් තියනවා නම් ඒකට සහභාගි වෙන කට්ටිය ඉන්නේ IFS ලොබියේ. මට දකින්න ලැබුන ගොඩක් අය අදුරන මුනු. හැමෝම Chemistry හෝ Physics ස්පෙශල් කාරයො. මම විතරයි ජෙනරල්. ඉතින් රස්සාවේ අදහස අත ඇරලා අඩු ගානේ ඉන්ටර්විවි ෆේස් කරන විදිහ ගැන හරි experience එකක් හම්බෙනවා නේ කියලා හිත හදාගෙනඉන්ටවිවි එකට ගියා.

ගුරුතුමා සහ ගෝලයා – මම සහ ලක්ශ්මන් දිසානායක මහාචාර්යතුමා (NIFS-SEDU archives)

කලින් කියන්න අමතක උනා. මේ පුරප්පාඩුව තිබුනේ ලන්කාවේ දැනට ඉහලින්ම ඉන්න භොතික විද්‍යාඥයකු වෙන මහාචාර්ය ලක්ශ්මන් දිසානායකයන් ගේ විද්යාගාරයේ. ඉන්ටර්විවි බොඩ් එකේ එතුමාට අමතරව ඉන්නෙ මහාචාර්ය රොහාන් සේනාධීර සහ ආචාර්ය අතුල විජේසි0හ. දැන් මෙහෙම තමයි දෙබස යන්නේ.

ප්‍ර: මොනවද කරපු සබ්ජෙට්ස්

පි: Botany, Chemistry, Physics

ප්‍ර: මොනවද කරපු අමතර සබ්ජෙට්ස්

පි: IT

ප්‍ර: මොනවද IFS එක ගැන දන්නේ?

පි: මම පොඩි කාලේ ඉදන් මෙතන පහු කර ගෙන තමයි ඉස්කෝලෙ යන්නේ

ප්‍ර: නෑ. නෑ. මම අහන්නේ IFS එකේ විස්තර මොනවාද දන්නේ කියලා.

ඒ ප්‍රශ්නේ අමාරු උනේ නැහැ. ජේ. ආර් ආන්ඩුව කාලේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසින්හ, සිරිල් පොන්නම්පෙරුම වගේ අපේ දක්ශතම පර්යේශන විද්‍යාඥයන් ගොඩනගපු IFS එක ගැන කියන්න ගොඩක් දේවල් මට තිබුනා.

ප්‍ර: මොනවද අපේ ලැබ් එකේ රිසර්ච් ගැන දන්නේ.

ඒ ප්‍රශ්නෙත් අවුලක් උනේ නැහැ. මොකද කලින් දවසේ IFS වෙබ් සයිට් එකෙන් ලැබ් එකේ වෙන රිසර්ච් ගැන මම බලපු නිසා. නොතේරුන ටික එදත් අදත් හෙටත් පිහිටට ඉන්න ගුගල් දෙයියා සහ විකිපිඩියාව නිසා පාඩම් කරන් හිටියේ. 😉

රොහාන් මුකුත් අහන්න නැද්ද? කියාලා ඔන්න දැන් ප්‍රශ්න ඇසීමේ අවස්තාව මහාචාර්ය සේනාධීරට ලබාදෙනවා. ඔන්න මෙතනින් එහාට එතුමා තමයි ප්‍රශ්න අහන්නේ.

ප්‍ර: IT කරා කිව්වා නේද? Programming පුලුවන්ද?

මම ප්‍රථම උපාදි ගන්න කාලේ අපේ විශ්ව විද්යාලේ ජීව විද්යා සිසුන්ට ප්‍රධාන විශයක් විදිහට පරිගනක විද්යාව හදාරන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට කුසලතා මට්ටමින් අමතර විශයක් විදිහට තුන්වෙනි වසර දක්වා පරිගනක විද්යාව ඉගෙනගන්න හැකියාව තිබ්බා. මට කොම්පියුටර් උන බරපතල ලෙස තිබීම නිසා තුන් වෙනි වසර වෙනකන් IT කරපු ඉතා අල්ප ස්වල්ප ජීව විද්යා ශිශ්‍ය කන්ඩායමේ මමත් හිටියා. එහෙම කියලා ඉතින් ලොකුවට programming දැනුමක් මට තිබ්බේ නැහැ.

පි: ටිකක් පුලුවන්. මම ආරක්ශාකාරිව පන්දුවට පහර දුන්නා.

ප්‍ර: හරි. ඔයාට මොකක් හරි සිස්ටම් එකක් ඩිවලප් කරන්න අපි දුන්නොත් අඩුම කාලෙකින් කොහොමද ඉවර කරන්නේ?

හුටා. දැන් මොකද්ද කියන්නේ. හරි උත්තරයක් හිතා ගන්න බැහැ. එහෙම අත්දැකීමකුත් ඇත්තේ නැහැ. බැරිම තැන මම ඇත්තම කිව්වා මෙහෙම.

පි: අපිට කාලය සීමිත නම් මුල ඉදන් system එකක් develop කරන්න අමාරුයි. ඒ නිසා දැනට තියන සිස්ටම් එකක් වෙන කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා customise කරන්න තමයි වෙන්නේ. (අපිට කොපි ගහලා පුරුදුයි නේ)

කොහොමද මෙයාගේ බාහිර වැඩ එහෙම? ඒ ප්‍රශ්නේ මට නෙවෙයි. කතාව යන අතරේ මගේ සහතික ෆයිල් දෙක පෙරලගෙන පෙරලගෙන යන ආචාර්ය අතුල විජේසිoහට.

ඒ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ සර්. ඔහු මගේ මුන දිහා බලබල හිනාවෙවී උත්තර දුන්නා.

ඔව් ඉතින්. ගොඩක් සහතික තියෙන බව පෙන්නන්න ඔන නිසා බාලදක්ශ සහතික, මියුසික් සහතික, දහම් පාසල් සහතික ඔක්කොම උස්සගෙනනේ ගියේ.

Ok එහෙනම්. Thank you ආවට. අපි එහෙනම් තෝර ගත්තොත් දැනුම් දෙන්නම්. කියලා හැමෝම අතට අත දීලා මගෙන් සමු ගත්තා. එලියට ආපු ගමන් මම කෝල් එකක් ගත්තේ ටාසන්. ඔව් ඔව්! කැම්පස් එකේදී මගේ දත් ගැලවෙන්න ගහපු එකා තමයි. ඔහු එතකොටත් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්. මම කෙටියෙන් කිව්වා මගෙන් අහපු සිස්ටම් ප්‍රශ්නේ. අනික් හැම ප්‍රශ්නෙකටම වගේ හරියට උත්තර දුන්නත් මට ඒ ප්‍රශ්නේ ශුවර් නැතුව හිටියේ. කතාව අහගෙන ඉදලා මු කිව්වා තමුසේ දුන්න උත්තරේ හරි. අපිත් මොකක් හදිස්සියක් උනොත් ඕකම තමයි කරන්නේ” කියලා. ඒ පාර මම හිත හදා ගත්තා යන්තම් guess කරලා හරි නිවැරදි උත්තරේ දී ගත්තා කියලා. ඒත් මම වැඩ බාරගන්න ලියුම ලැබෙනකන්ම හිතුවේ නැහැ මට IFS එන්න පුලුවන් වෙයි කියලා.

 

NIFS 328 විද්යාගාරයේ පරීක්ශන කන්ඩායම (NIFS-SEDU archives)

දින කීපයකින් මට වැඩ බාර ගැනීමේ ලියුම ලැබුනා. සේවා දිගු දෙකක් එක්ක IFS එකේ ගත කරපු කාලය නිම වෙනකොට ජීවිතේ සම්පුර්නයෙන් වෙන පැත්තකට කැරකිලා. Industry ජොබ් එකක් කරගෙන ඉන්න හිතන් හිටපු මම Academic වලට යොමු වෙලා විතරක් නෙවෙයි ජීව විද්යා ක්ශේත්‍රයේ හිටපු මම භොතික විද්යා ක්ශේත්‍රයට මාරු වෙලා පස් චාත්තී උපාදියකුත් එක්කම. මම M.Phill එකට ලියපු පරික්ශන නිබන්දනේ ඉරෝශාට ස්තුති කරන්න මම අමතක කරේ නැහැ. එයාගේ බල කිරිල්ල නොවෙන්නට මම කවදාවත් එතනට application එකක් එවන්නේ නැහැ. කොහොමින් හරි ඉතිහාසය නැවත ප්‍රතිනිර්මානය වෙලා මට ආයෙත් උපාදි උත්සවේ ඉවර වෙලා ගෙදර ඉන්න ලැබුනේ දවස් දෙකයි. සිරි ලන්කාවෙන් පියාඹන් ඇවිත් නතර උනේ කැන්ගරු දේසේ.