කැම්පස් ජීවිතේ තියන ක්ලයිමැක්ස් එක එහෙමත් නැත්තන් උච්චතම අවස්තාව වෙන්නේ උපාධි ප්‍රධානෝත්සවයනේ. රටට ලෝකෙට පේන්න ලෝගුව දාලා අර පිට්ටු බම්බුව ගන්නකොට ඉතින් ඒකේ මාරම ෆීලින් එකක් එනවා. හැබැයි ඒ හා සමානම ෆීලින් එකක් එන තැනක් තමයි අන්තිම විභාගේ ලියලා එලියට එන මොහොත. මම ඉතින් ඉස් ඉස්සල්ලම ඔහොම අත්දැකීමක් ගත්තේ රුහුණේදී. සාමාන්‍යෙන් ලංකාවේ ගොඩක් විශ්ව විද්‍යාල වල උපාධි උත්සවේ ගන්නේ BMICH එකේනේ. හැබැයි රුහුණේ ඕක තියෙන්නේ පේරාදෙණියේ වගේම ජිම් එකේ. ආය ඉතින් මාතර රස්නෙත් එක්ක ටයි කෝට් දාගෙන ඕකේ ඉන්න එකත් ආය කියලා වැඩක් නෑ. ජිම් එකේ ෆෑන් ෆුල් ස්පීඩ් කැරකුවත් ඒ රස්නේ නම් අඩු කරන්න බෑ. ඒත් දුක පොඩ්ඩක් විතර අඩු වෙනවා කෙල්ලොන්ගේ මේකප් දාඩිය එක්ක දිය වෙලා වැටෙනවා බලන් ඉන්නකොට. දැන් ඉතින් ඔය උත්සවේ හෙන ගරු ගාම්භීර විදිහට තමයි තියෙන්නේ. උපාදි ගන්න ලමයි සහ දෙමාපියන් ඔක්කොමලා වාඩි උනාට පස්සේ විශ්ව විද්‍යාලේ ආචාර්ය මන්ඩලේ, දවුල් තම්මැට්ටම් ගහගෙන පෙරහැරකින් තමයි උත්සව සභාවට අරන් එන්නේ.

මුලිනුත් කිව්වානේ රුහුණේ උපාධි උත්සවේ තියෙන්නේ ජිම් එකේ කියලා. ඉතින් ඔතන උපාධි දෙන්න වේදිකාවක් කියලා දෙයක් නෑ. ඒ නිසා ජිම් එක මැද තාවකාලික වේදිකාවක් ඉදිවෙනවා. ඉතින් ඕක තියෙන්නේ පොලව මට්ටමට වඩා අඩි කීපයක් උඩින්. ඉතින් ඔය වේදිකාව උඩ තමයි ආචාර්ය මන්ඩලේට අසුන් පැනවෙන්නේ. සාමාන්යෙන් වෙන්නේ ආචාර්ය මන්ඩලය නියමිත ආසන වලට එනකන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අමුත්තන් හිටගෙන ඉන්න එක. කට්ටිය ඉඳගන්නේ උත්සවයේ මුලසුන හොබවන උපකුලපති හිමියන් අසුන් ගත්තාට පස්සේ. මම සහභාගී උන උපාධි උත්සවේත් ඔහොම කට්ටිය දවුල් තම්මැට්ටම් ගහගෙන ඇවිත් ආසන ගාව හිටගත්තා කියමුකෝ. ඔන්න ඊට පස්සේ මුලු සභාවම මීයට පිම්බා වගේ නිහඬයි. ඔන්න ඊට පස්සේ උපකුලපති හාමුදුරුවෝ අසුන් ගත්තා. ඊට පස්සේ ආචාර්ය මන්ඩලේ අසුන්ගන්නකොටම “බුදුඅම්මෝ” කියලා සද්දයක් එක්ක පුටුවක් පෙරලෙනවා ඇනුනා. බලද්දී අර වේදිකාවේ කෙලවරකට වෙන්න තිබ්බ පුටුවකට බර වෙච්ච සර් කෙනෙක් පුටුවත් එක්කම බිමට පතබෑවිලා. ඉතින් ඉක්මන්ට දෙන්නෙක් දුවගෙන ඇවිත් අර සර් ව උස්සගෙන ඉස්පිරිතාලෙටද කොහෙද උස්සන් ගියා. ඔන්න ඔහොමයි මම සහභාගි උන මුල්ම උපාධි උත්සවේ පටන් ගත්තේ.

උපාධිදාරීන් බිම කුනු දැම්මා කියා ප්‍රසිද්ධ වූ පේරාදෙණි උපාධි ප්‍රදානෝත්සවය. මෙය උත්සවයෙන් පසුව ලබා ගත් සේයාරුවකි. (මාලේ දාගෙන නේ ඉන්නේ ) බිම ඇති කුණක් නැති බවත් එකෙක් පමනක් බෝතලයක් පුටුවක් උඩ අමතක ගොස් ඇති අයුරුත් දැකිය හැකිය.

දෙවනියට මම සහභාගී උනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි උත්සවේට. ඒකෙදී නම් යන්තම් කාටවත් අනතුරක් උනේ නෑ. හැබැයි ඒක මුලු රටම ආන්දෝලනයට පත් කරපු උපාධි උත්සවයක් උනා කුණු කේස් එකක් නිසා. උපාදියට ආපු එවුන් හෝල් එක අස්සේ කුනු දාලා ගියා කියලා බුකිය පුරාම බැනුම්. ඔය අස්සේ මගේ ලිස්ට් එකේ හිටියට ජීවිතේට පොස්ට් එකකට, ෆොටො එකකට, කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා නැති ඇරියස් කාරයෙක් දුවගෙන ඇවිත් හඥේ ඔයත් ඒ ග්‍රැජුවේශන් එකට ආවද? කුණු දාලා කැත කරාද කියලා වැලපෙන්න ගත්තා මම දාපු ෆොටෝ එකක. ඇත්තටම මම දන්නේ නෑ ඔහොම කුණු කේස් එකක් උනාද නැද්ද කියලා. හැබැයි මම පොරට කිව්වා මම දාපු ෆොටෝ එකේ බිම බලලා ඉන්න පිස්පු බල්ලා වගේ කමෙන්ට් කරන්න කලින් කියලා. මොකද ඒ ෆොටෝ එකේ බිම කුණු නෑ. පස්සේ ඒකාව ලිස්ට් එකෙනුත් අයින් කරා.

අන්තිම එක. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත තාක්ශනික විශ්ව විද්‍යාලයේ

තුන්වෙනියට මම බොහොම මෑතකදී සහභාගී උනේ ආචාර්ය උපාධියේ ප්‍රදානෝත්සවයට. කලින් සහභාගී උන අවස්තා දෙකේදීම තොප්පියක් දාන්න චාන්ස් එකක් තිබ්බේ නැති උනාට මේ පාර නම් යන්තම් එහෙම එකක් ලැබුනා. (දන්න විදිහට පේරාදෙණියේ PhD එකක් කරත් තොප්පියක් දාන්නේ නෑ) ඔය හතරැස් කොටුව වගේ තොප්පියට කියන්නේ මෝටාර් බෝඩ් එක කියලා. ආචාර්ය උපාධියේදි හම්බෙන්නේ ඊට පොඩ්ඩක් වෙනස් රවුම් තොප්පියක්. ඕකට කියන්නේ ටියුඩර් බොනට් එක කියලා. හේතුව මේ වර්ගයේ තොප්පි බහුලව පාවිච්චිවෙලා තියෙන්නේ එංගලන්තයේ ටියුඩර් යුගය කියලා හඳුන්වන ක්‍රි.ව. 1485 -1603 කාලයේ වීම. උපාධි ලෝගුවට උඩින් දාන සුපර් මෑන් වගේ රෙද්ද නම් පැවතගෙන එන්නේ මධ්‍යතන යුගයේ යුරෝපයේ සීතලෙන් ආරක්ශා වෙන්න පැලඳුව කෝල් කියන ඇඳුමෙන්. ඒක නම් ලංකාවෙත් ගොඩක් විශ්ව විද්‍යාල වල පාවිච්චි වෙනවා. උපාධි ලෝගුව නම් පදනම් වෙලා තියෙන්නේ 12 වෙනි සියවසේ යුරෝපියානු විශ්ව විද්‍යාල වල ඇඳුම පදනම් කරගෙන. ඒ කාලේ උගතුන් සියල්ලම වගේ පූජ්‍ය පක්ශයට අයත් වීම නිසා තමයි දැනුත් මෙහෙම ලෝගුවක් ඇඳගෙන එන්න වෙලා තියෙන්නේ.