ජපානේ සුන්දරත්වය ගැන අහල තිබ්බට මට එහෙම ලොකුවට යන්න ආසාවක් තිබ්බ රටක් නෙවෙයි. ඒත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් මහ දුරක් නොවෙන නිසාත්, ලාබෙට ටිකට් එකක් සෙට් වීම නිසාත්, විශේෂයෙන්ම නිවාඩුවට ලංකාවට යන්න හිතක් නොතිබුන නිසාත් ඒ පැත්තේ යන්න හිතුවා 2020 අග වගේ. ඊට මාස දෙකකට වගේ පස්සේ කොරෝනා කියල මගුලක් ඇවිත් මුලු ලෝකෙම ලොක්ඩවුන් වෙන බව දන්නව නම් තවත් කොහෙ කොහේ හරි ගිහින් එන්නත් තිබ්බා.

මම නැවතුන හෝටලයට ආසන්නයෙන්ම තිබුන අසකුසා විහාරස්ථානය

දැන් ඉතිං කොහොම හරි ජපානෙට ගොඩ බැස්සා කියමුකෝ. අපේ හෙල පාස්පෝට් එකට ජපානේ කොච්චර ඉහල පිලිගැනීමක් තියනවාද කිව්වොත් කෙලින්ම නතර උනේ interrogation room එකේ. මීට සමානවම තුර්කියේදියි කොරියාවෙදියි පරිප්පු කාල තිබ්බ නිසා ඕක මට අලුත් අත්දැකීමක් නෙවෙයි. ලොකුම අවුල මුන්ගේ ඉමිග්‍රේශන් ඉන්න එකෙක්ටවත් හරියකට ඉංග්‍රීසි කතා කරගන්න බැරි එක. ප්‍රශ්න අහපු ජපන්නු දෙන්නා මාව ඩිපෝට් කරන්න යනවා වගේ හිතුනු නිසා හෙල ඩොකියුමන්ට් පැත්තකින් තියලා කැම්පස් එකේ ස්ටාෆ් ID එකයි ඕස්ට්‍රේලියන් නේම් ID එකයි පෙන්නලා යන්තම් එතනින් පැන ගන්න පුලුවන් උනා.

හිමෙන් වැසුන ෆූජි කන්ද

ජප්පෝ අපිට එහෙම සලකන්නේ අපේම අයියලා කරන නසරාණි වැඩ නිසා. පරණ ඔෆිස් එකේ රොහාන් බොස් කියපු කතාවක් මතක් වෙනවා. ඔන්න ලංකාවේ අයියලා සෙට් එකක් ජපානෙට පනින්න ගිහින් මාට්ටු වෙලා අනික් පැත්තට ඩිපෝට් කරාලු. දැන් අනික් පැත්තට එවන ප්ලේන් එක ලඟට යන්න බස් එකක් එවලලු තියෙන්නේ මුන් ටික ගන්න. මුන් පනී කියන බයට බස් එකේ දොර හරියටම මේ සෙට් එක ඉන්න එයාපෝට් බිල්ඩිමේ දොර එක්ක සමපාත කරලාලු දොරවල් අරින්නේත්. වෙන විදිහකට කියනව නම් ජපානෙට හොරෙන් පනින එකෙක්ට ජපන් භූමියට අඩියක් තියන්න වත් චාන්ස් එකක් හම්බෙන්නේ නෑ. කොහොම හරි මේ දවසේ ඔය බස් එක එලවපු ඩයිවර් අයියාට පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා දොර පොඩ්ඩක් විතර ඈතින් තියෙන්නලු බස් එක නතර කර ගත්තේ. ඉතින් මේ සෙට් එකේ ඔක්කොටම පුලුවන් උනාලු ජපානෙට එක අඩියක් තියලා අනික් පැත්තට ගෙදර එන්න.

තෝකියෝ ඩිස්නිලන්තයේ ඇතුල්වීමේ දොරටුව සහ ප්‍රවේශපත්‍රය

ජපානේ ගැන කතා කරද්දී ජපන් කෝච්චි ගැන කතා නොකරම බෑ. අපේ රටේ එක එක බස් මුදලාලිලාට බස් දුසිම් ගනන් තියනවා වගේ ජපානේ එක එක කොම්පැනි වලින් කෝච්චි සර්විස් ගොඩක් තියනවා. පොඩ්ඩක් ඔලුව අවුල් වෙනවා වගේ පෙනුනට මේ කෝච්චි ජාලයෙන් ටෝකියෝ නගරේ ඕනම තැනකට හරිම පහසුවෙන් යන්න පුලුවන්. අනික ටැක්සි සහ බස් වලට වඩා සෑහෙන්න වේගවත් සහ අඩු මුදලක් තමයි වැය වෙන්නේ.

සුන්දර කියොතෝ නුවර

ජපන් කෝච්චි ගැන කතා කරද්දී බුලට් ට්‍රේන් ගැන නොකියම බෑනේ. බුලට් කෝච්චි වල යන්න සාමාන්යේන් එක ගමන් වාරයකට සෑහෙන්න ලොකු මුදලක් වියදම් වෙනවා. හැබැයි ජපානේ යන සංචාරකයන්ට කෝච්චි සීසන් එකක් ගන්න පුලුවන් ජැපනීස් රේල් පාස් කියලා. ඒකෙන් හිතේ හැටියට බුලට් ට්‍රේන් වල ඕන තරමක් යන්න පුලුවන්. ජපානේ හිටපු මුලු කාලෙම මම තනිකරම ගමන් ගියේ කෝච්චියෙම තමයි. ජපන් ගමනේ ගමනාන්ත වෙච්චි නිගාතා, ඔසාකා, කියොතෝ, ෆූජි කන්ද, වගේ හැම තැනකටම වගේ බුලට් කෝච්චියේ ගියේ ඔය රේල් පාස් එක පාවිච්චි කරලා. ගමනාන්ත කිව්වට ඉතිං නැවතුනේ තෝකියෝ නුවරම තමයි. රේල් පාස් එකේ ගමන්වාර අන්ලිමිටඩ් නිසා හැම ගමන් වාරයක් ම ඉවර කරලා රෑ වෙලා නැවත තෝකියෝ වලටම ආපු එක තමයි කරේ.තෝකියෝ අගනුවරට කිට්ටු ගමනාන්ත වෙච්චි තෝකියෝ ඩිස්නිලන්තය, වගේම ෂින්ජුකු පැත්තේ ශොපින් යන්න වගේ ගමන් ගියේ පැස්මෝ කියන සාමාන්‍ය දුම්රිය කාඩ්පත පාවිච්චි කරලයි.

ශින්කන්සෙන් හෙවත් බුලට් දුම්රිය

මේ තියෙන්නේ ජපන් ගමනේ සුන්දර මතකයන් කිහිපයක්