මම මේ බ්ලොග් එකේම කොහෙ හරි ලිව්වා වගේ මතකයි මම පොඩිම කාලේ හිටපු ගෙදර ගැන. මම උපන් ගමන් ගෙනාවේ නුවර සුදුහුම්පල තිබුන කුලී ගෙදරකට. මට අවුරුදු හතර ලැබුවටත් පස්සේ තමයි තාත්තා ඉඩමක් අරන් අපි ඔක්කොම හන්තානට මාරු වෙන්නේ. ඔය කුලී ගෙදර මගේ අසල්වාසියා උනේ අල්ලපු ගෙදර හේශාන් අයියා. හේශාන් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල් නිසා මට අවුරුදු හතර වෙනකොට එයා මොන්ටිසෝරි යන්න පටන් ගන්නවා. ඕක බලන් හිටපු මම කෑ ගහල අඬන්න පටන් ගන්නවා මොන්ටිසෝරි යන්න ඕන කියලා. ඉතින් ඒ පාර මාවත් හේශාන් අයියා ගිය මොන්ටිසෝරියටම ඇතුලත් කරන්න අපේ අම්මටයි තාත්තටයි සිද්ද වෙනවා. ඒ මොන්ටිසෝරිය පිහිටලා තිබ්බේ සුදුහුම්පල නිවාස යෝජනා ක්‍රමයට හැරෙන තැන තියන හන්දියේ ප්‍රජාශාලාවට පහල තට්ටුවේ. මේ ලඟදී ඔය පරන නොස්ටැල්ජියාව නිසා ඒ පැත්තේ ගියත් එතන මොන්ටිසෝරියක් නම් තිබ්බේ නෑ. කොහොමහරි ඔය හේතුව නිසා තමයි මම අවුරුදු දෙකක්ම මොන්ටිසෝරි යන්නේ. මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බෙන්නේත් ඔය මොන්ටිසෝරියේදී. මොන්ටිසෝරි ඉවර වෙලා ගෙදරින් එක්කන් යන්න එනකන් එයාගේ අතින් අල්ලන් ඉඳලා එද්දී තව කිස් එකකුත් දීලා තමයි එන්නේ. (ඒ කියන්නේ ගෑල් ලමයෙක්ට මුල්ම කිස් එක දුන්නේත් එහෙදී 😉 ) ඔය සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා වල වගේ අතට නලලට එහෙම නෙවෙයි. කෙලින්ම තොල් වලට. එක පාරක් ඕක ඔය ගෑනු ලමයාගේ අම්මට මාට්ටු වෙලා ඒ ඇන්ටි කිව්වා “අනේ අපේ නම් අකමැත්තක් නෑ ඉගෙන ගත්තට පස්සේ ඕන එකක් කියලා”. කොහොමින් හරි ඔය අවුරුදු දෙකේ මොන්ටිසෝරි අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න, මම ඉස්කෝලේ එක වසරට ඇතුල් වෙන්නේ හොඳටම සිංහල කියවන්න සහ ලියන්න ඉගෙනගෙන.

අපේ මොන්ටිසෝරිය තිබුන ගොඩනැගිල්ල. ඡායාරූපය: ගූගල් ස්ට්‍රීට් විව්

ඉතින් ඔය කාලේ අපිට ඉන්ටර්නෙට් තියා හරියකට බලන්න TV චැනල් එකක් වත් නෑ නේ. අපේ ගෙදර තිබුනේ කලු සුදු VHF TV එකක්. ඒ කාලේ VHF චැනල් වලට තිබ්බේ ජාතික රූපවාහිනියයි, ITN එකයි TNL එකයි විතරයි. ඔතනින් ගෙදරට ටිකක් හරි පෙනුනේ ජාතික එකයි ITN එකයි විතරයි. හන්තානට ආවට පස්සේ සෙල්ලම් කරන්න සෙට් එකකුත් නැති උන නිසා පොත් විතරයි තනියට තිබ්බේ. ඉතින් ගෙදර ඉඳන් තාත්තගේ පොත් පත් කියවන්න පටන් ගත්තා. ඕක දැකපු තාත්තා මාව එක්කන් ගියා නුවර E.L. සේනානායක ලමා පුස්තකාලෙට. ඉස්කෝලේ නිවාඩු කාලේ තාත්තා වැඩට යද්දී උදේට මාව පුස්තකාලෙට දාලා ආය හවස වැඩ ඇරිලා එද්දී ආය එක්කන් එනවා. මට ඕක කොච්චර අල්ලලා ගියාද කිව්වොත් තව ලොකු වෙනකොට ඉස්කෝලේ ලයිබ්‍රියෙනුයි, පබ්ලික් ලයිබ්‍රියෙනුයි, බ්‍රිටිශ් කවුන්සිල් එකෙනුයි, පොත් කියවන් නැති යාලුවෙක් ගේ කාඩ් එකකින් ණයටයි පොත් අරන් මදි පාඩුවට හීරැස්සගල හන්දියේ කියවීම් ශාලාවෙන් දවසේ පත්තරත් ඔක්කොම කියවන එක පුරුද්දක් උනා.

ඔය කියවීම් ශාලාවට යන්න නම් තවත් හේතුවක් තිබ්බා. මම කලින් ලිපියක කිව්වා ඉස්කෝලේ ඉඳන් කන්ද නැගගෙන, පයින්ම ගෙදරට යන එකේ අමාරුව ගැන. ඉතින් මම කරන්නේ කියවීම් ශාලාව වහනකන් ඒකේ තියන පත්තර සඟරා ටික ඉවර කරන එක. එතකොට ඉර බැහැලා නිසා ලොකු අමාරුවක් නෑ ගෙදර යන්න. ඉතින් රුපියල් දෙකකට බුල්ටෝ හතරක් හරි ටොපි දෙකක් හරි කකා හෙමින් හෙමින් කන්ද බඩගානවා. (දැන්නම් ටොපියක් රුපියල් 10 මං හිතන්නේ)

මුල්ගම්පල නාගරික කියවීම් ශාලාව. ඡායාරූපය: ගූගල් ස්ට්‍රීට් විව්

ඒ කාලේ හැටියට පබ්ලික් ලයිබ්‍රියට වඩා දහගුණයක විතර මුදලක් දෙන්න උනා බ්‍රිටිශ් කවුන්සිල් පුස්තකාල සාමාජිකත්වය ගන්න. හැබැයි ඒක සාමාන්‍ය පුස්තකාලයකට වඩා පොඩ්ඩක් වෙනස් උනේ පොත් වලට අමතරව සඟරා සහ කැසට් පටිත් ගෙදර අරන් යන්න දුන්න නිසා. හැබැයි ඒ කැසට් පටි වල ලේබලේ ඕඩියෝ බුක්ස් කියලා තිබ්බට ඇතුලේ තිබ්බේ ඒ කාලේ ජනප්‍රිය වෙච්ච සින්දු තමයි. මට ඉංග්‍රීසි පොත් කියවන්න උනන්දුව ඇති කරේ ලසන්ත අයියා. (මම කලින් පෝස්ට් එකක ලිව්ව, මාවත් ඇදන් ලිඳට වැටුන ලසන්ත අයියා තමයි ) එයා මට මුලින්ම කියවන්න දුන්නේ Famous Five පොතක්. ඒ කාලේ සිංහලෙන් හඬ කවපු ෆේමස් ෆයිව් TV සීරිස් එක ජාතික රූපවාහිනියේ විකාශනේ වෙන කාලේ. ඉතින් අයියා මට පොත දීලා කිව්වා “මල්ලී, TV එකේ බලනවාට වඩා මරු පොත කියවද්දී. කොහොමහරි අමාරුවෙන් ඩික්ශනරිය බලලා කියවන්න පුරුදු වෙන්න” කියලා. අයියා මට දුන්නේ ෆේමස් ෆයිව් කතා මාලාවේ The five are altogether again කියන පොත. ඕක පටන් ගන්න මුල්ම වාක්‍ය තමයි “Phew!’ said Julian,” කියලා. හම්මේ ඉතින්. පුදන කොටම කාපි යකා වගේ පොතේ පලවෙනි Phew කියන එකේ තේරුම දන්නේ නෑ. ඉතුරු ටික තේරුනා ජුලියන් කියලා එකෙක් TV එකේ ඉන්නවා දැක්ක නිසා. ඒත් කොහොම හරි ඩික්ශනරිය පෙරල පෙරල අමාරුවෙන් කියවන්න පුරුදු උනා. ඒ මහන්සිය අපතේ ගියේ නෑ. ඒක නිකන් තව විශ්වයකට දොරක් ඇරුනා වගේ. ඊනිඩ් බ්ලයිටන් ගෙන් පටන් ඊට වඩා බරසාර පොත් දක්වාම දක්වාම කියවන්න පුරුදු උනේ ලසන්ත අයියාට පින් සිද්ද වෙන්න.

ඔහොම පොත් කියව කියව ඉඳලා අන්තිමේ ලියන්න පටන් ගත්ත හැටි ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්.