ඇත්තටම මීට කලින් ලියපු පෝස්ට් එකේ ඔරිජිනල් නම තිබ්බේ “කියවපු හැටියි, ලියපු හැටියි” කියලා. ඒත් හිතුවාට වඩා කතාව දික් වෙච්චි නිසා කතාව දෙකට කැඩුවා “කියවපු හැටි” කියලා පෝස්ට් එකයි අද ලියන “විද්‍යා ප්‍රබන්ධ ලියපු හැටි” කියන කොටසයි විදිහට. මුල් කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් බලන්න.

ආතර් C ක්ලාක් ගේ කෘතිය ඇසුරෙන් ස්ටැන්ලි කුබ්‍රික් අධ්‍යක්ශනය කරපු 2001 චිත්‍රපටියේ හල් 9000 සහ ඩේව් බෝමන්

කොහොම හරි ඉස්කෝලේ 8,9 පන්ති වලට එනකොට මට හිතෙනවා කතා පොතක් ලියන්න. ඔය කාලේ අපිට ඉන්ටර්නෙට් එක වෙනුවට තිබුනේ විජය පත්තරේ. ඕකේ හැම සතියෙම පල උනා, පොලව යටට බිහිසුනු ගමනක් කියලා ජූල්ස් වර්න් ගේ Journey to the Center of the Earth පොතේ සිංහල පරිවර්තෙනේ. ඉතින් මුලින්ම පොතක් කියලා දේකට මම ලිව්වේ හැම සතියෙම පත්තරේ පල වෙච්චි ඔය කතාව තනි එක්සයිස් පොතක ලියපු එක. ඒත් ඉතින් ඕක පොතක් තියා පොතක පරිවර්තනයක් කියලා වත් සලකන්න බෑ නේ. ඉතින් හිතට හරි මදි. ඒත් ලොකුවට අලුත් අදහසක් ඔලුවට එන්නේත් නෑ. ඔය අතරේ තමයි මමයි මගේ අතීසාර මිත්‍ර දමිතුයි ආතර් C ක්ලාක් මහත්තයාගේ සිව් ඈඳුතු 2001, 2010, 2061, 3001, අභ්‍යවකාශ වීර චාරිකා කියවන්නේ. ඔය පොත් සීරිස් එක කියවලා ආමන්දානන්දයට පත්වෙන අපිට මේකේ ඊලඟ කොටසක් නැති එකේ අඩුපාඩුව තදින් දැනෙනවා. 3001න් පස්සේ ආතර් C ක්ලාක් මහත්තයා වැඩේ නවත්තපු නිසා අපි දෙන්නා එකතු වෙලා ලියනවා 4001 කියලා පස්වෙනි පොත. මේ වෙනකොට මේ පොතේ අත්පිටපත අවාසනාවකට වගේ අස්ථානගත වෙලා. හැබැයි ඒකත් 3001 කාබන් කොපියකට සමානයි. උදාහරනෙකට ඔය කතාවේ එනවා හල් 9000 කියලා සුපිරි පරිගනකයක්. අපි 4001 පොතට ඇතුල් කලා ඊට වඩා බලගතු හල් 10,000 කියලා සුපිරි පරිගණකයක්!

විජය පරිගනක 2004 ජනවාරි කලාපය

මේ අතරේ හැම සතියෙම වගේ විදුසර පත්තරේ කියවීම් ශාලාවෙන් කියවන මට හිතෙනවා ඒකේ තියනවා වගේ විද්‍යා ප්‍රබන්දයක් ලියන්න. මොන අවාසනාවකටද මන් දන්නේ නෑ ලියපු එකක් වත් පලවුනේ නෑ. ඔය අතරේ තමයි මම විද්‍යා ප්‍රබන්ද තරඟයක් ගැන දකින්නේ විජය පරිගනක සඟරාවේ. දවස් කීපයක් කල්පනා කරලා ඒකට මම ඉදිරිපත් වෙනවා. විජය පරිගනක සඟරාව එන්නේ මාසෙකට සැරයයි. ඉතින් ඊලඟ මාසේ බලනවා. කිසි අප්ඩේට් එකක් නෑ. ඔහොම මාස ගානක් ගියාට පස්සේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් පලවෙනවා. ඒත් ඒක මගේ නෙවෙයි. හැබැයි ඒකේ කොලිටි එක දකින මම බලාපොරොත්තු අත ඇර ගන්නවා. ඊලඟ මාසේ තවත් එකත්. මම ඉතින් ශෝක මූඩ් එකෙන් ජීවිතේ ගෙවනවා. ඔන්න ඊලඟ මාසේ මම දකිනවා විද්‍යා ප්‍රබන්ධ තරඟයේ ජයග්‍රාහකයන්ගේ නාමාවලිය. මම දෙවනියා! හොඳම විද්‍යා ප්‍රබන්ද දහය අතරින් අවරෝහන ක්‍රමයට තමයි කතා පල කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මම අතින් මුද්‍රිත මාධ්‍යක පලවුන ප්‍රථම සහ එකම විද්‍යා ප්‍රබන්දය. (ලිව්වේ 10 වසරේදී, පලවෙද්දී 11 වසරට ගිහින්) මේ තරඟේ පලවෙනියා වෙන්නේ දමිත නිපුනජිත් කියලා කෙනෙක්. මගේ විද්‍යා ප්‍රබන්ධ එතනින් එහාට පල නූනට දමිත් නම් මේ වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්. ඒ වගේම ඔහු විදුසර පත්තරේ ප්‍රධාන කතෘ බවටත් පත්වෙනවා. මේ තරඟයට ඔහු ඉදිරිපත් කරපු කෙටි කතාවයි තවත් විද්‍යා ප්‍රබන්ධ කීපයක් එකතු කරලා එයා විශ්මිත සිහින දකින්නා කියලා පොතක් ලියනවා. මීට අමතරව කාලාවකාශයේ සිරකරුවා, අවසන් අවදි කරන්නා වගේ විශිෂ්ඨ නිර්මාන ඔහු අතින් සිංහල විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යට එකතු වෙනවා.

2006 වසරේ ජීවිතේ මුල්ම වතාවට පෙනී සිටි ඩිජිටල් ඡායාරූපය. පිලියන්දල සුබෝධී තාරකා විද්‍යා වැඩමුලුවේදී.

මුද්‍රිත මාධ්‍ය වල පල නොවුනට 12 වසරේදී මගේ තවත් විද්‍යා ප්‍රබන්ධයක් ජයග්‍රනහයක් වාර්තා කරනවා සුබෝධී ආයතනය විසින් පවත්වපු තරඟාවලියකදී. ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධම සහ විශාලතම තාරකා විද්යා සංගමය උනේ පිලියන්දල සුබෝධී ආයතනය. මීට අමතරව ජීවිතේ පලවෙනි වතාවට ඩිජිටල් ඡායාරූපයකට මම පෙනී හිටියේ ඒ සහතික ප්‍රධානෝත්සවයේදීයි.

2007 අවුරුද්දේ කොලබ විශ්ව විද්‍යාලයට අඩිය තියපු මුල්ම දවස. ජීවිතේටම මෙඩල් එකක් හම්බුනෙත් එදාම තමයි.

ඉන් පස්සේ 13 වසරේදී මගේ තවත් විද්‍යා ප්‍රබන්ධයක් ජයග්‍රහනයක් අත්කරගන්නවා කොලබ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨය සංවිධානය කරපු විද්‍යා ප්‍රබන්ධ තරඟාවලියකදී. ඒ වෙනකොට පොත් හරහා මම අම්බානක බැනුම් අහලා තිබුන භොතික විද්‍යා මහාචාර්ය S.R.D. රෝසා මහත්මයා මට ඇත්තටම මුන ගැහෙන්නේ ඒ උත්සවයේදී. බහුවරණ විවරණ පොත් වලදී අපිට බැන්නට ඇත්ත ජීවිතේදී ඊට වෙනස් ජොලි පුද්ගලයෙක් කියලා මට තේරුනේ ඒ හමුවීමෙන් පස්සේ. මම මුලු ජීවිතේටම හිමිකර ගත්ත එකම එක පදක්කම හිමිකරගත්තේ ඔය උත්සවේදී. ඒ වගේම තව වසර කීපයකට පස්සේ මාස්ටර් එක කරන්න ආයෙත් කොලබ සයන්ස් ෆැකල්ටි එකටම එන්න ඉඩ ලැබේවි කියලා නම් ඒ මොහොතේ මම හීනෙකින් වත් හිතුවේ නෑ.

ඒ කතන්දරේ තව දවසක ලියන්නම්.

ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ ආය කවදාවත් විද්‍යා ප්‍රබන්ධයක් නම් ආය ලියවුනේ නෑ.