මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for the ‘කතන්දර’ Category

අගෝස්තු 25

ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?

උගුරේ පොඩි ආසාදනයක්  ඇවිත් කන්න බොන්න කතා කරන්න අමාරු වෙලා හිටපු මොහොතක ලැබුන බරපතළ අනතුරු ඇඟවීමක් ඒක. මොකද එකට හේතුව විදිහට පහුගිය දවස් වල සෙල්ලම් දදා හිටපු තරමක් විෂ (තරමක් කිව්වට ඊට වඩා ටිකක් විතර වැඩි ) රසායනික සංයෝග කීපයක් ශරීරගත උනාද කියලා ගැන සැක ඇතිවීම. මුලදී නම් හිතුනා මැරුණත් කමක් නෑ කියලා. මොකද මැඩම් කියුරි  මගේ වීරවරියක්. නොබෙල් තෑග්ග භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකටම ලබා ගත්ත එකම විද්‍යාඥයා ඇය පමණයි. හැබැයි බඩගින්නේ තරමට කෑම ගිල ගන්න අමාරු වෙද්දී එක්කෝ නොබෙල් තෑග්ගත් ඕන නෑ කියලා හිතුනා.

IMG_1563

මේ සිද්දිය උනේ ගිය 25. ඒ කියන්නේ ජනිත් ගේ  උපන්දිනේ දවසේ. අගෝස්තු 25 දවසේ වැදගත්කම ගැන ගුගල් දෙය්යා ගෙන් බැලුවම මට පෙනිච්ච දෙයක් තමයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ගණනාවක් ම එදාට ඉපදිලා…, අනේ නෑ ඉපදිලා නෙවෙයි මැරිලා තියෙන දවසක් වීම. අනික් විශේෂත්වේ මේ මියගිය විද්‍යාඥයෝ ගොඩක් අය ජනිත් ගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් වීම.

ජනිත් ගේ ප්‍රධාන විනෝදාංශයක් වෙන තාරකා විද්‍යාවේ වැදගත් පුද්ගලයන් දෙන්නෙක් මිය ගිහින් තියෙන්නේ අගෝස්තු 25. එක්කෙනෙක් තමයි අපේ චන්ද්‍රයාට ඉස්සලම පයගහලා තියන නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඔහු මියගියේ 2012 අගෝස්තු 25. අනිත් කෙනා තමයි 18 වෙනි සියවසේ හිටපු විශිෂ්ඨතම තාරකා විද්‍යාඥයා වෙච්චි විලියම් හර්ෂල්. සෞර ග්‍රහ මණ්ඩලේ හත්වෙනි ග්‍රහයා වුන යුරේනස් ඔහුගේ ප්‍රධාන සොයාගැනීමක්. මීට අමතරව සෙනසුරුගේ චන්ද්‍රයන් වුන මීමාස් හා එන්සේලාඩස් (එන්සේලාඩස් හරි වැදගත්. මාතර ඇරුනම හුම්මානය දකින්න ලැබෙන්නේ මුළු සෞර ග්‍රහ මණ්ඩලේන්ම එහෙ විතරයි) වගේම යුරේනස් ගේ ටයිටානියා සහ ඔබරෝන් ඔහුගේ සොයා ගැනීම් වෙනවා. ඔහු මියගියේ 1822 අගෝස්තු 25.

විද්‍යුතය හා රසායන විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් රැසක් කරපු මයිකල් ෆැරඩේ මැරිලා තියෙන්නේ 1867 අගෝස්තු 25. විදුලි මෝටරය, ඩයිනමොව, හා විද්යුත් විච්චේදන මූලධර්ම වලට අමතරව දන්නවද බෙන්සීන් හොයා ගත්තෙත් ඔහු බව?

විකිරණශීලීතාවය හා ප්‍රකාශ විද්යුත් ආචරණය සොයාගත් හෙන්රි බෙකරල් මියගියේ 1908  අගෝස්තු 25. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභියකු වුන බෙකරල් ගේ නොබෙල් ප්‍රකාශ විද්යුත් ආචරණය පසුකාලයේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය වෙත පදනම දැමුවා.

තව සැහෙන ගාණක් හිටියට දැනට ඔය ඇති. අනේ අගෝස්තු 25 උපන්දිනේ සමරන දන්න අඳුරන විද්‍යාඥයෙක්ට ඉන්නේ හැන්ස් ක්රෙබ්ස් විතරයි. අර ස්වායු ශ්වසනයේ ට්‍රයිකොබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියාව එහෙම නැත්තන් ක්රෙබ්ස් චක්‍රය හොයා ගත්ත කෙනා. එත් කමක් නැහැ. එයත් නොබෙල් තෑග්ග දිනපු කෙනෙක්.

ප.ලි. “මගෙත් කැමතිම විෂය තමයි chemistry” මගේ රෝග ඉතිහාසය අහල බෙහෙත් ලියන ගමන් අපේ දොස්තර නෝනා කිව්වා. 😀

වල ඉහගෙන කෑම

Shoemaker

පහුගිය දවසක වැඩට යන්න දදා හිටපු සපත්තුවක අඩිය ගියා. අඩිය ගියා කිව්වට සම්පුර්ණයෙන්ම ගැලවුනේ නැහැ. ගම් ගාල අලවල මහගත්තා නම් අයෙත් පරණ තත්වෙට ගන්න පුළුවන් මට්ටමට තමයි කැඩුනේ. ඒත් පොඩ්ඩක් හරි වතුරේ ඇවිද්දොත් මේස් එක පෙගෙන්න පටන් ගත්ත එක මහ වදයක් වෙච්ච් නිසා ඇද යට පෙට්ටියක දාල තිබ්බ විශේෂ වෙලාවට විතරක් දාන අනික් සපත්තු ජෝඩුව දාන්න පටන් ගත්තා. කරුමේ කියන්නේ ඒක දාන්න හම්බුනේ දවසයි. එකේ අඩිය සම්පුර්ණයෙන්ම ගැලවිලා ගියා. හොද වෙලාවට පහුවදා සෙනසුරාදා. මම සපත්තු ජෝඩු දෙකම අරන් ටවුම පැත්තේ ගියේ සපත්තු ජෝඩු දෙකම අලවලා මහගෙන එන්න.

සපත්තු මහන මෑන්ස් කෙනෙක් ගාවට ගිහින් මම කැඩිච්ච සපත්තු එකක් විතරක් දීල ගාන අහපුවාම දවල් තරු පෙනුනා. එක සපත්තුවකට 350 ලු. මම අඩු නැද්ද කියල අහපුවාම මිනිහා කියනවා අඩුවට ඕන නම් ගම් ගාල විතරක් දෙන්නම් ලු. යකෝ එක සපත්තුවට 350 ගානේ සපත්තු හතරට 1400. ඒ ගානට තව පොඩ්ඩක් දැම්මා නම් අලුත් සපත්තු ජෝඩුවක්‌ ගන්න පුළුවන් නේ.

සපත්තු කාරයට බම්බු ගහන්න කියල මම හාඩ්වෙයාර් එකකට ගොඩ වෙලා මල්ටිබෝන්ඩ් එකක් ගත්තා. ගාන බලනකොට ලෝකල් එක 140 යි. හොඳ එක 320 යි. 320 මල්ටිබෝන්ඩ් එක අරන් පේමන්ට් එකේ රව්මක් ගහල රුපියල් 60 කට සපත්තු මහන කට්ටකුයි නුල් පන්දුවකුයි දෙකම ගත්තා. රුපියල් 400 න් වැඩේ ගොඩ. (හැබැයි ෆිනිෂින් නම් ටිකක් හරි නැහැ තමන්ම කර ගන්න ගියාම :D)

DSC06019

සංදේශ කවි සහ ඇනෝ කවි

Oxford online ඩික්ෂනරි එකේ සඳහන් වන ආකාරයට anonymous ලෙස හඳුන්වන්නේ “(Of a person) not identified by name; of unknown name” කියලා. ඇනෝ concept එක අළුත් එකක් වගේ හිතුනට ඒක  සෑහෙන පරණ සංකල්පයක්. ගුත්තිල කාව්‍ය කියන්නේත්  ඇනෝ කවි පොතක්. ගුත්තිල කාව්‍ය ලිව්වේ වෑත්තැවේ හාමුදුරුවෝ කියල කිව්වට ඒක මුඛ පරම්පරාගත කීමක් මිස කතුවරයා ගැන කිසිම සඳහනක් පොතේ හෝ ඒ සමකාලීන ඉතිහාසයේ දැක්වෙන්නේ නෑ. තව ඇනෝ කවි පොත් ඕන තරම් සිංහල සාහිත්‍යයේ තියනවා. ගිරා සංදේශය, පැරකුම්බා සිරිත, තිසර සංදේශය, සසදාවත, මුවදෙව්දා වත උදාහරණ කීපයක් විතරයි.

Anonymous

මගේ පුද්ගලික මතය ගුත්තිලය සහ තිසර සංදේශය එකම කෙනෙක් ගේ නිර්මාණයක් බව. ගුත්තිලයේ දිව්‍යන්ගනාවන් ගේ වර්ණනාව මතකයි නේ. (කොහොම අමතක වෙන්නද නේද? :D) බලන්න තිසර සංදේශයේ තියන සමානකම.

නිලුපුල් දිගැසී  තන රන්           කලසී

සිදුලිය සදිසි සියුමැලි             දිගැසී

රඟ බැස නොලාසි රඟ දෙන    විලසි

දුටු එම විගසි මද තෙමෙ         ඇවිසි


මේ ගොඩක් ඉස්සර, ඒ කියන්නේ ජනිත්ට අවුරුදු හතක් අටක් කාලේ වෙච්ච් දෙයක්. ජනිත් පොඩි කාලේ කියවපු කවි පොතක් තමයි සිරිත් මල්දම. එක දවසක් ජනිත් ගේ නෑදෑයෝ කට්ටිය ඔක්කොම සෙට් වෙච්ච වෙලාවක ජනිත් දැක්කා ගාමිණී අය්යා හොටු පෙරාගෙන ඉන්නවා. ගාමිණී අය්යා කිව්වේ ජනිත් ගේ පුංචි කෙනෙක් ගේ පුතෙක්. ආය දෙපාරක් හිතුවේ නැහැ ජනිත් කටපාඩමින් කිව්වා සිරිත් මල්දමේ කවියක් ගමටම ඇහෙන්න.

සෙම් සොටු පෙරා                    ගෙන

කුණු කෙල වයිරිලා                  ගෙන

දැලි කුණු තවර                        ගෙන

ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු   තැන

නෑයෝ ඔක්කොම බක බක ගාල හිනා වෙන අතරේ ගාමිණි අයියා දිව්වා ලේන්සුවක් හොයන්න.

Little-boy-sneezing-300x294


ඊට ගොඩ කාලෙකට පස්සේ ජනිත් කැම්පස් ආවා. ඔය “මං ගැන” page එකේ තියෙන්නෙත් කැම්පස් එකේ ජනිත් හිටපු හැටි ඇසින් දුටුවකු ඇඳපු චිත්‍රයක් නේ. හැමදාම අළුපාට සයිඩ් බැග් එකයි අරගෙන ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහල එක අතක නිල් පාට ෆයිල් එකකුයි අනික් අතේ අලි සයිස් නොකියා 6680 ෆෝන් එකකුයි අරගෙන තමයි එන්නේ. පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමිස්ටෙර් exam  එකට කලින් දවසේ ඔහොම එනකොට ජනිත් දැක්කා  ලස්සන ගෑණු ළමයෙක් තිරස් අක්ෂයේ සරල අනුවර්තීය චලිතයක පැද්දී පැද්දී ඉස්සරහින් යනවා. පරණ විදිහට කවියක් නොකියා මතකෙට ආව සින්දුවක් sms එකක් වෙලා අර nokia 6680 එකෙන් ගියා ගෑණු ළමයාගේ ෆෝන් එකට මෙන්න මෙහෙම

මල් බර        හිමිදිරියේ

කොයිබද     සමනලියේ

යන්නේ        හිරුඑළියේ

කියන්න       සියුමැලියේ

හැරෙන තැපෑලෙන් මෙන්න ඒකට ආව reply එක

සීතල මද                  පවනේ

මම කුප්පියකට         යන්නේ

exam හෙට               ඇත්තේ

නොගියොත් ඇන     වෙන්නේ

ඇන වෙනවා කියන්නේ exam fail වෙන එකටයි. කුප්පිය කියන වචනේ තේරුම නම් දන්නවා ඇති නේ.

depositphotos_5950179-Girl-in-love


මේ තියෙන්නේ මෑත කාලේ ලියවුන කතෘ අවිනිශ්චිත කවි වගයක්. ලස්සන නිසා දැම්මා. ලිව්වේ කව්ද කියල මම නම් දන්නේ නෑ .

 

සිහිනෙන් වගේ මුව මල් සිනා         මැවේ

පාළු මගේ සිතේ රන්වන් රුවක්     මැවේ

මිණි මුතු     අමුණා

මිමිණු         වදනින්

කෝලව     මා සිත

සැනසුනි     රහසින්

සුළි සුළං මහ වැහි     මැදින්

නුබේ සෙනේ ගඟුල     ගලයි

එදා මෙන්         අදත්

නුබේ නෙතු අග මා     රැකෙයි

රන්වන් රිවි         කිරණේ

සියපත රැඳී පිනි     කැකුලේ

සිහිලස කැටි කර     ගන්නේ

නුබේ හද තවරා     යන්නේ

පරණ කතා

වළලු බ්ලොග් එක ලියන වළලු නංගි  මං ගැනත් ලියා තියනවා කියා දන්නේ පොස්ට් ඒක පබ්ලිස් කර වසර ගණනකට පසුය. කොහොමත් උණු උණුවේ කතාවක් ලියනවට වඩා ඇල් මැරුණ කතාවක් දැමීමේ වාසිය කතාවට සම්බන්ද බොහෝ අයටද ඒ වන විට කතාව අමතක වී තිබුන කොටස් යලි මතක් වීමයි.  මටත් එසේමය. වළලු කියවූ පසු පුර්වාපර සන්දි කිහිපයක් ගැලපී මට පරණ කතා කීපයක්ම මතක් විය.

දැන් නම් නගර සභාව මගින් හෝටල් වල පිරිසිදුකම ගැන ශ්‍රේණි ලබා දීම සිදු කරද අපි සරසවියේ සිටි කාලයේ එවැනි ක්‍රමයක් භාවිතෙය් නොතිබුණි.

වර්තමානයේ මෙම ශ්‍රේණි ක්‍රමය අනුව (A) ඉතා සතුටුදායක, (B) සතුටුදායක  (C) සාමාන්‍ය හා (D) අසතුටුදායක ලෙස ශ්‍රේණි ලබා දේ. නමුත් එකල පරිහෝජනයට සුදුසු හෝටල තෝරා ගැනීමට අප යොදා ගත්තේ පරිසර විද්‍යාවට ඉගෙන ගත් ජෛව නිදර්ශක ක්‍රමයයි. පරිසර පද්ධතියක තත්වය නිර්ණය කිරීමට යොදා ගත හැකි ජීවී විශේෂ ජෛව දර්ශක (Bioindicator) ලෙස හැඳින්වේ. ඒ අනුව අපේ බෝඩිමේ මම ටාසන් හා කැප්ටන් ගේ සවුක්ය තත්වය සෑම ප්‍රධාන අහාර වේලකට පසු මොනිටර් කර පිරිසිදුකම ගැන ශ්‍රේණි ලබා දුන්නෙමු.

tissue culture

අපේ අඩුම ප්‍රතිශක්තිකරණයක් තිබුනේ කැප්ටන් හටය. ඒ කෙසේද යත් සම්පුර්ණයෙන්ම ජීවානුහරණය කරන ලද කෑමක් මිස වෙන දෙයක් ඌට කෑමට නොහැකිය. හැකිය. නමුත් කෑම හමාර කරන්නත් පෙර යෑම ඇරබේ. ඒ අනුව කෑම වේලක් කා කැප්ටන් නිරුපද්‍රිතව ඉහෙන් බහින ලෙඩක් නැතුව සිටී නම් එය ඉතා සතුටුදායක A ශ්‍රේණියේ හෝටලයකි.

සම්පුර්ණයෙන් ජීවානුහරිත තත්ව තබා ගැනීම ලේසි පහසු දෙයක් නොවේ. එකේ අමාරුව දන්නේ සෙල්ලමට හෝ සබ්ජෙට් එක කල එකෙක් මය. කොහෙන් හෝ කොන්ටමිනේෂන් වීම  සිදුවේ. ෆුල් ස්ටේරිලයිස් කියා රෝපණ මාද්යයේ කොස් පැල ටිෂු කල්චර් කලොත් ලැබෙන්නේ දෙල් පැල ය. ඉඳ හිට ඉහඳ පණුවන් ද කල්චර් වී ලැබේ. ඕපපාතිකව පහල වේ. 😀

කැප්ටන් ට අවුල් ගියද මට අවුලක් නැත්නම් එය සතුටුදායක මට්ටමේ B ශ්‍රේණියේ හෝටලයකි.

මටත් අවුල් නම් එය සාමාන්‍ය C ශ්‍රේණියේ හෝටලයකි.

asamodagam

ටාසන් හට බඩේ අමාරුවක් සැදුන දිනයක් මතක නැත. ඒ නිසා කිසිදු හෝටලයක් ඉතා අසතුටුදායක ලෙස D ශ්‍රේණියේ වර්ගීකරණය නොවීය. නමුත් කැප්ටන් හට එවැනි වාසනාවක් නොතිබුණි. බොහෝ දිනවල ඔහුට ප්‍රීතීන් සුඛා ආහාරත්ථිඨිකා  යන ගාථා පාඨය අනුව යමින්  දිව්‍ය තල වල වාසය කරන දෙවියකු මෙන් ප්‍රීති සුඛ අහාර කරගෙන වාසය කිරීමට සිදුවිය. අපේ වර්ගීකරණයේ නිවරද්‍ය භාවය ගැන කැප්ටන් ගේ කාමරයේ තිබුන හිස් අසමෝදගම් බෝතල් සාක්ෂි දරනවා ඇත.

හිතට වැදුන කතාවක්..

j001

ජනිත් අන්ඩර් ග්ර්ජුවෙට් සමයේ තර්මෝ ඩයිනමික් සමග සැතපෙමින්

ජනිත් marry කරන්නේ නැද්ද?

අනේ මැඩම්. මම දන්නේ නැහැ. ලබන අවුරුද්දේ M.Sc එක නම් කරන්න ඕන.

ජීවිතේ කියන්නේ ඉගෙන ගන්න එකම නෙවෙයි ජනිත්. ජීවිතේ එක කොටසක් විතරයි ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එක සම්පුර්ණ කරගෙන ජීවිතේ අනික් දේවල් ගැන හිතනකොට ජීවීතෙන් සෑහෙන කොටසක් ගෙවිලා ඉවරයි. මගේ සමහර යාලුවෝ ඉන්නවා තවම බැඳලා නැහැ. ඉතින් පැනඩෝල් පෙත්තක් ගෙන්න කඩේට යන්න වෙලා තියෙන්නෙත් අම්මා තාත්තල එක්ක. ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ.

ජීවිතේ ලොකු දේවල් කියල හිතෙන දේවල් ඒ විදිහට හිතෙන්නේ ඒක ලබා ගන්නකන් විතරයි. ඔයා ඩිග්‍රී එක කරන කොට ඒක complete කරන එක තමයි ලොකුම ඉලක්කේ. ඒක ලබාගත්තට පස්සේ අගයක් නැහැ. M.Sc එක උනත් ඒ වගේ තමයි. මම consultant කෙනෙක් කියන එක ඔයාට ලොකු දෙයක් විදිහට හිතෙනවා ඇති. මමත් ඒ කාලේ එහෙම හිතුවා. නමුත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා ඉලක්ක වලට යනකොට ජීවිතේ අනික් පැති ගැන අමතක කරන්න එපා. වයස 50 වෙනකොට අවුරුදු 5 බබෙක් ඉඳලා ඇති වැඩේ මොකද්ද?මම postgraduate කරේ බබාලා තුන් දෙනෙක් හදාගෙන. ඉගෙනගෙන ඉවර වෙලා ළමයි හදන්න හිටියොත් subfertile වෙලා ඉඳි.

මොනවා..එහෙමත් වෙනවද!

වයසට ගිහින් බැන්දම එහෙම වෙනවා. අපේ department එකේ හිටපු මැඩම් කෙනෙක් ගේ බබා මොංගල්. අපි මෙච්චර ඉගෙනගෙන සල්ලි හොයන්නේ downs ළමයෙක් ගෙදර ගෙන්න නෙවෙයි නේ. ජනිත් දන්නවද ඩොක්ට කෙනක්ට බඳින්න කෙනක් හොයා ගන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. සාමාන්‍ය කෙනෙක් බඳින්න බෑ නේ. හොඳ ඉන්ජිනියර් කෙනෙක් හරි executive කෙනෙක් හරි වෙන්න ඕන. එත් එහෙම වයසට ගැලපෙන පිරිමි අය හිටියත් ඒගොල්ලෝ කරන්නේ ලස්සන පොඩි කෙල්ලෙක් බැඳ ගන්න එක . වයසට ගිය කෙනෙක්ට වඩා සාමාන්‍ය පවුලක උනත් ලස්සන ගෑණු ළමයෙක්ට ඊට වඩා හොඳ වටිනාකමක් තියනවා.

හි හි .. මම එහෙනම් හිතල බලන්නම්කෝ

ජීවිතේ විඳින එක අමතක කරලා ඉලක්ක පස්සෙම යන්න එපා. ඉලක්ක වලට යන ගමන් ජීවිතේ ගැනත් හිතන්න. මොකද ජීවිතේ කියන්නේ සල්ලි වත් රස්සාව වත් නොවෙන නිසා.

ප.ලි.

විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ජනිත් ඉක්මනින් කසාද බැඳීමට තීරණය කරන ලදී.  

අඹර පෑයූ (Payphone sinhala version)

පහුගිය මාස ගානකම බ්ලොග් එක පැත්තේ එන්න වත් බැරි උනා. රස්සාවේ ප්‍රශ්න, කොම්පියුටරේ ලෙඩ විතරක් නෙවෙයි සෑහෙන්න තරු බලපු නිසා තරු සංගමේ වැඩ වගේ හේතු ගොඩයි. තව ටික කාලෙකින් බ්ලොග් එකත් ඩිසේබල් වෙයි ද දන්නේ නෑ.

අද කියන්න යන්නේ සින්දුවක් ගැන. මගේ සින්දුවක් නම් නෙවෙයි. බලලා තියනවද මේ සින්දුව? මගේ ගොඩක් ප්‍රියතම සින්දුවක්. මගේ හිත ගිය අනික් කාරණේ තමයි මේකේ ලිරික් රූප රචනාව. විකී අයියා මේ සින්දුව ගැන මෙන්න මෙහෙම කියනවා.

Payphone” is a pop song performed by the American pop rock band Maroon 5. The song was released on April 17, 2012, as the lead single from their fourth studio album,Overexposed (2012). It features American rapper Wiz Khalifa. It was written by Adam Levine, Benny Blanco, Ammar Malik, Robopop, Shellback and Khalifa, and produced by Blanco and Shellback.

පේ ෆෝන් සින්දුවේ සිංහල වර්ශන් එක ලඟදි මම දැක්කා. සින්දුව හදලා තියෙන්නේ අපේ තරු සංගමේ ලක්මාල් මල්ලියි උදාර මල්ලියි. සිංහල සින්දුව ඔර්ජිනල් එකටත් වඩා හොඳට හදලා තියනවා. වැඩි විස්තර ඕන නෑ. බලලාම ඉන්නකෝ.

සුරාවේ අගේ..

දිනය: 07/03/2013

වෙලාව: රාත්‍රී 7.30

ස්ථානය: මධ්‍යම බස් නැවතුම්පල පිටකොටුව

මහනුවර බසයේ වැඩි සෙනගක් නැත. මට අසුනක් ඉදිරියෙන් තිබුන හිස් ආසනයට අයකු ගොඩවූයේ පියවි සිහියෙන් නොවේ. මිනිත්තු කීපයක් තුල පොරගේ කන සාක්කුවේය. ටික වෙලාවකින් හොඳ සිහියෙන් සිටි බුවෙක් ද එම අසුනේ හිඳගත්තේය. දැන් බීගත් බුවා (අපි BB යයි හඳුන්වමු) වෙරි පිටම අනිකා ගේ කරට හේත්තු වෙයි. නැවත ජනේලෙට හේත්තු වෙයි. ඔය අතර කොන්දයියා එයි. එයි ටිකට් ටිකට්.. ඔහු කීපවරක්‌ විමසුවද BB ගෙන් ප්‍රතිචාරයක් නැත. මොකද්ද කීවද එය නොතේරෙයි. කොන්දා බලෙන්ම මුදල් ගෙන නුවරටම ටිකට් එකක් ලබා දෙයි (අමතරව කනේ පාරක් ද බෝනස් ලෙස දුන්නේ BB ගේ අසල්වැසි මගියා විසිනි).

Man-drinking-alcohol

වෙලාව: රාත්‍රී 11.15

ස්ථානය: බස් නැවතුම්පල කඩුගන්නාව

BB ගේ අසල්වැසියා මාවනැල්ලෙන් බැස ගොස් ය. එමනිසා මුළු අසුනේම ඔහු දිගා වී සිටින්නේ ඔලුව බිමට හිටින සේ ය. කඩුගන්නාවෙන් බසයට නගින තව බුවෙක් ඇති තරම් හිස් සීට් තිබුනද BB අසලට විත් ඔහු කෙලින් කර එතන හිඳ ගනී.

මල්ලී ඔයා කොහෙටද යන්නේ?”

ඔහු විමසයි. මේ වනවිට ශරීරගත මද්‍යසාර සාන්ද්‍රණය තරමක් දුරට අක්මාවෙන් විෂහරණයට ලක්ව ඇති සේය.

එගොඩඋයන ට” කියන ඔහු නැවත කන සාක්කුවට දා ගනී.

බලන්න මල්ලී පවු නේද?

අලුත් බුවා අපට බණ ටෝක් එකක් දී BB තම උරහිසට වත්තම් කර ගනී. මගේ පපුව හෝස් ගා ඇවිලෙයි. ශා මෙහෙමත් කරුණාවන්ත අයියලා මේ රටේ කොච්චර ටික දෙනෙක් ද ඉන්නේ. මගේ චින්තන ධාරාවට බාධා ඇති වන්නේ මට ඉදිරිපස අසුනේ සිටි කෙනා ගේ කෑ ගැහිල්ලෙනි.

“අඩෝ.. මොකද තමුසේ ඔය බීපු එකාගේ සාක්කුවට අත දාන්නේ?”

අලුත් බුවා හොල්මන් වෙයි. කොන්දය්යා ට යකා නගී. “තමුසේ වෙන තැනක ගිහින් වාඩි වෙනවාද නැත්තම් පොලීසියට අල්ලලා දෙන්නද?”

මම හොරෙක් නෙවෙයි. මේ මනුස්සයා පවු. මමත් බස් ඩ්‍රයිවර් කෙනෙක්.

මට තමුසේ කවුරු උනත් කමක් නෑ ඔයි . මේක මගේ බස් එක. ඒ මිනිහා නුවරට ටිකට් අරන් ඉන්නේ.

කොන්දා ගේ එම ටෝක් එකට අලුත් බුවා ශේප් එකේ වෙන තැනක හිඳ ගනී. ඔයින් මෙයින් බසය නුවරටම ඇවිත් ය. මම බැස ගත්තෙමි. ඒ වන විට වෙලාව රාත්‍රී 11.40 ය. දැන් එය සිදුවී පැය 24 වඩා ගතවී ඇත. මේ වන විට BB නැවත සුව සේ එගොඩඋයනට පියවි සිහියෙන් නැවත ලඟා වී ඇතැයි මම සිතමි.

alcohol_cartoon

පසු වදන (බුදු වදනිනි)

උපුටා ගැනීම  ආගිය කතා බ්ලොගියෙනි .

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති

දීනා සදා ව්‍යසන රෝග පරායනා ච

ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා

පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා

නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නාහ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ

%d bloggers like this: