මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for the ‘Uncategorized’ Category

අල්ට්‍රා සවුන්ඩ් හා මල්ටිපිකේෂන් ටේබල්

අපි පොඩි කාලේ (පොඩි කිව්වාට පොඩිමත් නැති) හරි අසාවෙන් බලපු ම්යුසික් වීඩියෝ එකක් තමයි මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව ගේ මතක මන්දිර සින්දුව. ඒ කාලේ ඔය වීඩියෝ එකේ හිටපු උපේක්ෂා වගේම සින්දුව නිෂ්පාදනය කරපු ඉරාජ් හිටියේ ජනප්‍රියත්වයේ ඉහලම තලයේ. පස්සේ උපේක්ෂා පාර්ලි‌‌මේන්තුවට එහෙම ඇවිත් වැඩේ වන කර ගත්තා. කොහොමහරි ඔය වීඩියෝ එකේ මුල් තත්පර කිහිපයේ තියන දර්ශනයට සමාන දෙයක් පසුතලයක් හිතා ගන්නකෝ. ඔන්න මම එකට හරියන ස්ක්‍රිප්ට් එකක් ලියන්න පටන් ගන්නවා.

————————————————————————————————————————-

රෝහල් කොරිඩෝව දිගේ බරට අඩි තබමින් ප්‍රසව හා නාරි වයිද්යවරයා පැමිණෙන්නට විය. ඒ වන විටත් පරික්ෂා කාමරය තුල හෙදියක් හා සාත්තු සේවිකාව සියලු කළමනා පිළියෙළ කොට හමාරය. ඒ වන විටත් සියලුම රෝගීන් පැමිණ අසුන් ගෙන හමාරය. පරිලෝකන පරීක්‍ෂණය පැවැත්වීම සදහා වූ යන්ත්‍රය එහි වාර්ෂික නඩත්තු කටයුතු සඳහා යොමුකරන ලද්දේ මීට පෙර දිනයේ දීය. එහි තත්ත්ව වාර්තාව සතුටු දායක වූ අතර කිසිදු දෝෂයක් වාර්තා නොවුනි. වෛද්‍යවරයා  අසුන් ගත් වහා සාත්තු සේවිකාව ප්‍රථම අංකය කැඳවන ලදී. සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. රෝගී ඇඳේ නිදා ගැනීමට සන් කල ඔහු පරිලෝකන යන්ත්‍රය මගින් ඇයගේ දරුවා නිරීක්ෂණය කරන්නට විය. යන්ත්‍රයේ තිරය මතට හා පැරණි රෝගී වාර්තා වෙතට ඔහුගේ නෙත වරින් වර යොමු විය. “හ්ම්ම්ම්.. නිවුන් දරුවෝ?” ඔහුට කියැවුණි. නමුත් කලලයේ නියම ස්වරුපය තවමත් පෙනනුයේ යන්තමිනි. “ආයෙත් මාසෙකින් ඇවිත් ස්කෑන් එකක් කරගන්න” ඔහු උපදෙස් දුන්නේය.

අංක දෙක එන්න” සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. රෝගී ඇඳේ නිදා ගැනීමට සන් කල ඔහු පරිලෝකන යන්ත්‍රය මගින් ඇයගේ දරුවා නිරීක්ෂණය කරන්නට විය. යන්ත්‍රයේ තිරය මතට හා පැරණි රෝගී වාර්තා වෙතට ඔහුගේ නෙත වරින් වර යොමු විය. “හ්ම්ම්ම්.. නිවුන් දරුවෝ ආයෙත් ?” ඔහුට කියැවුණි. නමුත් ඊට පෙර මස වාර්තාවේ ඔහු ලියා තිබුනේ නිවුන් දරුවන් කියා නොවේ. “ආයෙත් මාසෙකින් ඇවිත් ස්කෑන් එකක් කරගන්න” ඔහු උපදෙස් දුන්නේය.

අංක තුන” සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. පසුගිය මස ලබාගත් පරිලෝකන වාර්තාව අනුව මෙම මවට ලැබීමට නියමිත වුයේ නිවුන් දරුවන් ය. එම කරුණ හිතේ දරාගත් ඔහු යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. තිරය මත දුටු දර්ශනය ඔහුට ඇති කලේ පුදුමය සහ කෝපය අතර හැගීමකි. මන්දයත් තිරය මත ඔහුට දරුවන් හතර දෙනකු දැක ගැනීමට  හැකි වූ නිසාය.

මිසී.. අපේ අනික් පරණ ඉකෝ මැෂින් එක ඔන් කරන්න ඉතුරු ලෙඩුන්ට”. ඔහු හෙදියට උපදෙස් දුන්නේය. එය සුදානම් වනතුරු දුරකථනය අතට ගත් ඔහු රෝහලේ පිළිගැනීමේ නිලධාරිනිය ඇමතීය. “අපේ ලොකු ඉකෝ මැෂින් එක ගත්ත කොම්පැනියට කෝල් එකක් දීලා කියන්න මෙන්ටෙනන්ස් එකෙන් පස්සේ මැෂිම වැඩ නැහැ කියලා. විශේෂයෙන්ම ඊයේ ආපු කෙනාටම ආයෙත් එන්න කියන්න” ඔහු පැවසීය.

DSC03723

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනරයක් සමග ජනිත් 

සුළු මොහොතකින් එක්තරා වෛද්‍ය උපකරණ සමාගමක් වෙතට එන දුරකථන ඇමතුමකි. සමාගම අන්තයේන්  පිළිගැනීමේ නිලධාරිනිය පවසන කොටස පමණක් ලියා තබමි.

හලෝ , ***** **** සමාගම.”

 “ආ ඇත්තද? පොඩ්ඩක් ඉන්න මම ඉන්ජිනියර් ට ට්‍රාන්ෆර් කරන්නම්”

ඇය අභ්‍යන්තර දුරකථන ඇමතුමක් ලබා ගනී.

“හෙලෝ ජනිත්. ඔයාට ***** හොස්පිටල් එකෙන් කෝල් එකක්. ඔහොමම ලයින් එකේ ඉන්න මම ට්‍රාන්ෆර් කරනවා

____________________________________________________________________________________

හරි. මනඃකල්පිත කතාව මෙතනින් ඉවරයි. එතනින් එහාට කතාව කියන්න අමිහිරි නිසා මම නොකියා ඉන්නම්.

ප.ලි. බඩේ ඉන්න එක ළමයා දෙන්නෙක් විදිහටත්, දෙන්නා හතර දෙනෙක් විදිහටත් පෙන්න පටන් ගත්ත දෝෂයට හේතුව අල්ට්‍රා සවුන්ඩ් ප්‍රොබ් එක, මැෂින් එකට නියමිත විදිහට සම්බන්ද නොවී බාගෙට හයි කිරීම නිසා කියලා පස්සේ හොයා ගන්න පුළුවන් උනා.

අලි මදිවට පතොක්

මේ බ්ලොග් එකේ වනාන්තර අශ්‍රිතව ගතවුන මගේ ජීවිතේ කාලපරිච්ඡේදය තුල සිදුවුන රසබර සිද්දි ඔක්කොම සීරිස් එකක් විදිහට ඉවර කරන්න හිතන් ලිව්වට එහෙම ගියොත් මෑතක වෙච්ච් සිද්දි ලියන්න වෙන්නේ මගේ මලගමෙනුත් පස්සේ. ඔන්න ඒ නිසා කැලෑ ජීවිතෙන් පස්සේ ජනිත් ට සේවය කරන්න වෙච්චි ජීව වෛයිද්‍ය ක්ෂේත්‍රයේ කථා දෙක තුනක් කියන්නයි මේ සුදානම.

නැත්තන් ඔන්න ඔහේ තව එක කතාවක් කියන්නම්. මේ සිද්දිය උනේ බුන්දල ජාතික වනෝද්‍යානයේ. බුන්දල තියන්නේ දකුණු පළාතේ යාලට මායිම් වෙලා. මේ සිද්දිය වෙන කාලේ වනජීවී එකේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ඔය ගම් වැදිලා මිනි මරණ වල් අලි අල්ලලා බුන්දලට නිදහස් කරන. දැනුත් එහෙමද කියල නම් දන්නේ නැහැ. කොහොම හරි මෙහෙම ගෙනාපු වල් අලියෙක් බුන්දල අවට ගම් වලට රිටර්න් එක දෙන්න පටන් අරන්. ඔය අතරේ මටත් බුන්දල යන්න සෙට් උනා.

elephant-chasing-bike-rideres-jpg

 

සාමාන්යෙන් වනජීවී නියාමකයෝ ගිනි අවි අරගෙන යන්නේ හරි කලාතුරකින්. හැබැයි මේ වතාවේ නම් අපේ පොර තුවක්කුව අරගෙන තමයි දොට්ට පිලටත් යන්නේ. ඔන්න ඔය අතර නිවුස් එකක් එනවා අපි බුන්දල ආපු දවසට කලින් දවසෙත් ළඟ ගමක හිටපු මනුස්සයෙක් මේ අලියා ගහල මරලා දාල කියල. එකම එක වතාවක් සෆාරි යද්දී ඔය අලියා ලාවට වගේ දැක්ක අපි දඩි බිඩි ගාල මාරු උනා.  කොහොම හරි දවස් තුනක් ගත කරලා පණ බේරාගෙන පිටත් වෙන්න මට පුළුවන් උනා. හැබැයි දැන් තමයි හොඳම හරිය.

අහ්හ්. ඊට කලින් බුන්දල පරිසරය ගැන පොඩ්ඩක් කියන්න ඕන. මෙහෙ වැඩිපුර තියෙන්නේ පොඩි පොඩි පඳුරු කුට්ටි. රූස්ස ගස් ඇත්තෙම නැති තරම්. සමහර තැන් වල නිකම්ම වැල්ල. මතකයි නේ සමාජ අධ්‍යනෙට ඉගෙන ගත්ත අර්ධ ශුෂ්ක කලාපේ ලක්ෂණ. ඉතින් හොඳටම වැවෙන්නේ පතොක් ගස් තමයි. අපරාදේ කියන්න බැහැ කැම්ප් එක වටේටත් හොඳ සරුසාරේට පතොක් ගස් නම් වැවිලා තිබ්බා. හැබැයි පතොක් කට්ටක් අනුනොත් නම් බඩුම තමයි. පතොක් කට්ටක් ලාවට අනුනොත් හරිම අමුතු වේදනාවක් දැනෙන්නේ. හරියට ඇනුන තැන ඉඳන් වටේට වේදනාව රැස් විහිදෙනවා වගේ හැගීමක්. තදට අනුනොත් ඊට අන්තයි. මොකද පතොක් කට්ටේ අගිස්ස බොහොම ලේසියෙන් හම ඇතුළේදී කැඩෙනවා. ඉතින් ටික කාලෙකින් ඇනුණු තැන පැසවලා තමයි කට්ට එලියට එන්නේ.

brian_cactus

මෙතනින් එහාට කියන්නේ මම ආවට පස්සේ කතාව. හරියටම මම ආපු දවසේ කොළඹින් ලොක්කෙක් ඇවිල්ලා අපේ කැම්ප් එක බලන්න. මිනිහා කැම්ප් එක බල බල ඉන්න අතරේ අර මිනීමරු අලියා කුලප්පු වෙලා ඇවිල්ලා කැම්ප් එකට. අපේ කට්ටිය හී හී කඩ දුවන අතරේ එක්කෙනෙක් ලොක්කවත් පැත්තකට අරන් දුවලා ලඟම තිබ්බ ගහකට නගින්න. මුට හරියකට ගහකට නගින්නවත් බෑ. ඒ අස්සේ අලියත් ලගට දුවන් එනවා. අලි එක්ක සෙල්ලම් බැහැ. මැරිලා වගේ ඇක්ට් කරන්නත් බෑ වලහට වගේ. 😀  එක වතාවක් උඩවලවේ කැම්ප් සයිට් එකෙක්ට පහර දෙන්න ආපු වල් අලියෙක් ගහල තිබුනේ කැම්ප් එකේ තිබ්බ වැසිකිලි පොචිචියකට. ඒක ෆුට් බෝලයක් වගේ විසිවෙලා ගිහින් කෑලි වෙලා තිබ්බා මීටර සීයකටත් එහා ගිහින්. කොහොම හරි බොහොම අමාරුවෙන් ගහේ යට අත්තකට ලොක්කවත් නග්ගගෙන තියනවා.

ඒ අතරේ  හොදට ගහක මුදුනේම ඉඳන් ලොක්කා පස්සෙන් අලියා එලවන සීන් එක බලාගෙන හිටපු එකෙක් බයවෙලා ගහෙන් වැටිලා. අර ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්න වගේ කියලා කතාවකුත් තියෙන්නේ. හැබැයි මෙයා බය උන පාර ගහෙන් වැටිලා තියෙන්නේ හරියටම යටින් තිබ්බ විසාල පතොක් ගාලක් උඩට. මිහිහගේ කෑ ගැහිල්ලට අලියත් බය වෙලා දුවලා.

එදා ඉඳන් මාස ගානක් යනකන් අර අසරණයා ගේ ඇඟේ තැනින් තැන පැසව පැසව පතොක් කටු මතු උනා කියල තමයි කට්ටිය කියන්නේ.

අප්සට් සින්දු සහ ලව්

විකාර බ්ලොග් එක ප්ලෑන් කරන දවස් වල මම මටම දාගත්ත නීතියක් තමයි පරණ ලව් ස්ටෝරි ඇතුළු ජීවිතයේ කිව හැකි සහ නොහැකි  සෘණාත්මක කතා සියල්ල සපුරා වාරණය කරන බව. ඒ නිසා මේකේ තියෙන්නේ ධනාත්මක සහ motivational කතා විතරයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත සිංහල පොතේ පාඩම් බහුතරයක්ම අසුභ කතා තමයි. ඊට අන්තයි ඉංග්‍රීසි සාහිත්‍යය පොත. දැන් නම් පෙළ පොත වෙනස් වෙලා ද දන්නෙනෑ.

ජනිත් මානවකයා විස්සවිද්‍යාලයේදී (අ)පරාජිත ප්‍රේමවන්තයා ලෙස රංගනයෙන් දායක වෙමින්

ටේලර් ස්ව්ෆ්ට් කියන්නේ මගේ ඉස්සර ලව් එකක්. කලබල වෙන්න එපා. මම අදහස් කරේ මම එයාගේ ගොඩක් ආදරණීය රසිකයෙක් කියන එක. සමනල විප්ලවය බ්ලොග් එකේ හරි ලස්සන වචනයක් තිබුණා “ප්ලේටෝනික විතරාගී ආදරය” කියල. මම හිතන්නේ මටත් තිබ්බේ එහෙම එකක් ද කොහෙද. ඉස්සර ලව් එකක් කිව්වේ දැන් එහෙම එකක් නැති නිසා. මගේ ඒක පාර්ශවික ප්‍රේමේ නැතිඋනේ මෙහෙමයි. මගේ ඔය ලව් කතාව අපේ ඔෆිස්  එකේ (කලින් රස්සාවේ) සඳලි එක්ක කිව්වම එයා මං දිහා අමුතු විදිහට බලල මගෙන් ඇහුවා “දන්නවද ටේලර් ස්විෆ්ට් ගේ උස කියල?” මම ගුගල් සර්ච් කරාම දන්නේ එයා අඩි 5’8”උසයි කියලා. ඉතින් අඩි 5’7’’උස නැති මට එච්චර උස ගැනියෙක් හරියන්නේ නැති නිසා මම වැඩේ අත් ඇරලා දැම්මා.

taylor_swift_no_makeup

ටේලර් සිව්ෆ්ට් මගේ මුළු හිතෙන්ම නැති වෙලා ගියේ මේ පොටෝ එක දැක්කම. යකෝ මේකප් දාපුවම නව දැලි හේනේ වැඳිරියෙක් උනත් පට්ට celebraty කෙනෙක් කරන්න පුළුවන් නේ. මගේ පුද්ගලික මතය, ස්වභාවික ලස්සන ඒ විදිහටම තියාගෙන ඉන්නේ කොල්ලෝ විතරයි කියන එක. මොකද ඉතින් වෙඩිමකට උනත් උපරිම බේබි ක්‍රීම් ටිකක් උලාගෙන යයි. ඒකට කෙල්ලෝ. Name tag එකක් ගහන් හිටියොත් මිස අඳුරගන්න බෑ තමුන්ගේ මනුස්සයටවත්!

අප්සට් සින්දු කියල හෙඩිම දැම්මේ ටේලර් ස්විෆ්ට් ගැන කියන්න නම්  නෙවෙයි. (එයාගේ සින්දු දැන් නම් අප්සට් වේගෙන යනවා. ඒ ගැන වෙනම පොස්ට් එකක්ම දාන්න වෙයි.) ලංකාවේ නම් ජනප්‍රියම අප්සට් සින්දුව තමයි X එලියන්. ජනප්‍රියම කිව්වේ යු ටියුබ් හිට් ගණන අනුව අද වෙනකොට අරගෙන තියනවා. කොච්චර අප්සට් සින්දුවක් කියන එක සින්දුවේ කොමෙන්ට් වලින් බලාගන්න පුළුවන්. හැබැයි X එලියන් මගේ playlist එකේ තියන සින්දුවක්.මොකද මේ සින්දුව කියන විදිහේ අවුලක් විතරයි තියෙන්නේ. බොරු නම් මෙන්න මේක අහල බලන්න. මේ X එලියන් කවර් වර්ෂන් එකක්.

හැබැයි ලෝක මට්ටමින් අප්සට් ම සින්දුව වෙන්නේ මෙන්න රෙබෙකා බ්ලැක් ගේ මේ සින්දුව. මේක හඳුන්වල තියෙන්නේ Friday කියල. මට නම් රෙබෙකා බ්ලැක් කියන්නේ අපේ ලංකානි (X එලියන් කියන කෙල්ල) ට වඩා දුර්වල චරිතයක්. එයාගේ සින්දුවට ලැබිච්ච අප්සට් ප්‍රතිචාර වලට එයා කොච්චර අප්සට් ගියාද කියලා කියනවනම් එයා මාස 3 කට එයාගේ යු ටියුබ් එකවුන්ට් එක වහලා දැම්මා.

ඒ වගේම ඊට සමාන මඩ සින්දු හෝ ගාල කට්ටිය හදන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඒ වගේ මඩක්.

පොස්ට් එක ඉවර කරන්නේ ලෝක ඉතිහාසයේ නෙවෙයි මුළු විශ්වයේ ඉතිහාසයේම වැඩිම කාලයක් ගැන කියවෙන ගීතයෙන්. අපේ විශ්වය ආරම්භ වුණා කියල සැලකෙන මහා පිපිරුමේ ඉඳං අද දක්වා ගතවුන අවුරුදු බිලියන 15 කට අසන්න කාලයම ගැන මේ සින්දුවෙන් කියවෙනවා.

 

හොල්මං රේඩියෝ

හොල්මං කතා , හොල්මං චිත්‍රපටි, හොල්මං පින්තූර එහෙම ඕන තරම් දැකලා ඇති නේ. හැබැයි හොල්මං රේඩියෝ ගැන අහල තියනවද? මේ කතාව ලෝකේ තියන අත්භූත ගුවන් විදුලි විකාශන ගැන. සාමාන්‍යයෙන් ගුවන් විදුලිය යොදා ගන්නේ පණිවුඩ හුවමාරු කර ගන්න නේ. අපි නම් වැඩිපුරම ගුවන්විදුලිය යොදා ගන්නේ සින්දු අහන්න. හැබැයි මේ අත්භූත ගුවන්විදුලි තරංග විකාශනය කරන්නේ කොහෙන්ද ඒවායින් ඇති වැඩේ මොකද්ද කියන එක නම් කවුරුත් දන්නේ නැහැ. මේ තියන්නේ ඒ වගේ ලෝකේ තියන හඳුනා නොගත් ගුවන් විදුලි සම්ප්‍රේෂණ මද්‍යස්ථාන කීපයක් ගැන විස්තර.

455040344_640
UVB 76
මේකට බසර් එක කියලත් කියනවා. 4625kHz සංඛ්‍යාතයේ කෙටි තරංග වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැය 24 පුරාම විනාඩියකට 25 ගානේ සද්ද දාන එක තමයි කරන්නේ. ඒ අතර ගොඩක් කලාතුරකින් රුසියන් භාෂාවෙන් වචනත් ඇහෙනවා. 1982 ඉඳං අද දක්වා මේක ක්‍රියාත්මකයි. නිල නොවන වාර්තා කියන්නේ මේක රුසියන් හමුදාවට අයිති ගුවන් විදුලි සම්ප්‍රේෂණ මද්‍යස්ථානක් කියලයි. මෙන්න මෙතනින් විකිපීඩියා ගිහින් වැඩි විස්තර බලාගන්න.

පිප් (The Pip)
මේකත් බසර් එකටම සමානයි. 5448 kHz සංඛ්‍යාතයේ දවල්ටත් 3756 kHz රෑටත් කෙටි තරංග වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැය 24 පුරාම විනාඩියකට 50 ගානේ සද්ද දාන එක තමයි කරන්නේ. ඒ අතර ගොඩක් කලාතුරකින් රුසියන් භාෂාවෙන් වචනත් ඇහෙනවා. 1980 ඉඳං අද දක්වා මේක ක්‍රියාත්මකයි. නිල නොවන වාර්තා කියන්නේ මේක රුසියන් හමුදාවට අයිති ගුවන් විදුලි සම්ප්‍රේෂණ මද්‍යස්ථානක් කියලයි. ඒ වගේම UVB 76 නිවුන් සොහොයුරිය කියලත් හඳුන්වනවා. මෙන්න මෙතනින් විකිපීඩියා ගිහින් වැඩි විස්තර බලාගන්න.

අඬන රෝදේ (The Squeaky Wheel)
මෙයත් කලින් කියපු දෙන්නටම සමානයි. 5743 kHz සංඛ්‍යාතයේ දවල්ටත් 3828 kHz රෑටත් කෙටි තරංග වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකේ සද්දේ මලකඩ කාපු රෝදෙකින් එන සද්දේ වගේ. අපේ ගුවන් විදුලියේත් කියන්නේ දිවයින පුරා මෙගාහර්ට්ස් අහවල් එකෙන්, කරගහතතැන්නෙන් මෙගාහර්ට්ස් අහවල් එකෙන්, රදැල්ලේන් මෙගාහර්ට්ස් අහවල් එකෙන් කියලා. ඒ වගේ මේකත් 3650 kHz 3815 kHz 5474 kHz 5641 kHz කියන සංඛ්‍යාත වලින් අහන්න පුළුවන්. මෙන්න මෙතනින් විකිපීඩියා ගිහින් වැඩි විස්තර බලාගන්න.
මීට අමතරව Number station, Letter beacon, වගේ රහස් ගුවන් විදුලි සේවා ගොඩක් තියනවා.

ප.ලි.
එක පාරට මෙහෙම දෙයක් ලියන්න හිතුනේ පහුගිය දවස් වල අපේ ශ්‍රී ලංකා රේඩියෝ සමාජයේ සභාපතිතුමා ගෙන් ආව ඊයක් නිසා. කව්දෝ කෙනෙක් වලංගු බලපත් නැතුව ආධුනික ගුවන් විදුලි පනිවුඩ හුවමාරුව භාවිතා කරන බවත් ඔහු සමග ගණුදෙනු නොකරන ලෙසත් එතුමා දන්වලා තිබුණා. එයත් සමහර විට එයත් මේ හොල්මං නාලිකාවක නිවේදකයෙක් ද දන්නෑ.

81ejt6zX1RL._SY300_

පරණ කතා

වළලු බ්ලොග් එක ලියන වළලු නංගි  මං ගැනත් ලියා තියනවා කියා දන්නේ පොස්ට් ඒක පබ්ලිස් කර වසර ගණනකට පසුය. කොහොමත් උණු උණුවේ කතාවක් ලියනවට වඩා ඇල් මැරුණ කතාවක් දැමීමේ වාසිය කතාවට සම්බන්ද බොහෝ අයටද ඒ වන විට කතාව අමතක වී තිබුන කොටස් යලි මතක් වීමයි.  මටත් එසේමය. වළලු කියවූ පසු පුර්වාපර සන්දි කිහිපයක් ගැලපී මට පරණ කතා කීපයක්ම මතක් විය.

දැන් නම් නගර සභාව මගින් හෝටල් වල පිරිසිදුකම ගැන ශ්‍රේණි ලබා දීම සිදු කරද අපි සරසවියේ සිටි කාලයේ එවැනි ක්‍රමයක් භාවිතෙය් නොතිබුණි.

වර්තමානයේ මෙම ශ්‍රේණි ක්‍රමය අනුව (A) ඉතා සතුටුදායක, (B) සතුටුදායක  (C) සාමාන්‍ය හා (D) අසතුටුදායක ලෙස ශ්‍රේණි ලබා දේ. නමුත් එකල පරිහෝජනයට සුදුසු හෝටල තෝරා ගැනීමට අප යොදා ගත්තේ පරිසර විද්‍යාවට ඉගෙන ගත් ජෛව නිදර්ශක ක්‍රමයයි. පරිසර පද්ධතියක තත්වය නිර්ණය කිරීමට යොදා ගත හැකි ජීවී විශේෂ ජෛව දර්ශක (Bioindicator) ලෙස හැඳින්වේ. ඒ අනුව අපේ බෝඩිමේ මම ටාසන් හා කැප්ටන් ගේ සවුක්ය තත්වය සෑම ප්‍රධාන අහාර වේලකට පසු මොනිටර් කර පිරිසිදුකම ගැන ශ්‍රේණි ලබා දුන්නෙමු.

tissue culture

අපේ අඩුම ප්‍රතිශක්තිකරණයක් තිබුනේ කැප්ටන් හටය. ඒ කෙසේද යත් සම්පුර්ණයෙන්ම ජීවානුහරණය කරන ලද කෑමක් මිස වෙන දෙයක් ඌට කෑමට නොහැකිය. හැකිය. නමුත් කෑම හමාර කරන්නත් පෙර යෑම ඇරබේ. ඒ අනුව කෑම වේලක් කා කැප්ටන් නිරුපද්‍රිතව ඉහෙන් බහින ලෙඩක් නැතුව සිටී නම් එය ඉතා සතුටුදායක A ශ්‍රේණියේ හෝටලයකි.

සම්පුර්ණයෙන් ජීවානුහරිත තත්ව තබා ගැනීම ලේසි පහසු දෙයක් නොවේ. එකේ අමාරුව දන්නේ සෙල්ලමට හෝ සබ්ජෙට් එක කල එකෙක් මය. කොහෙන් හෝ කොන්ටමිනේෂන් වීම  සිදුවේ. ෆුල් ස්ටේරිලයිස් කියා රෝපණ මාද්යයේ කොස් පැල ටිෂු කල්චර් කලොත් ලැබෙන්නේ දෙල් පැල ය. ඉඳ හිට ඉහඳ පණුවන් ද කල්චර් වී ලැබේ. ඕපපාතිකව පහල වේ. 😀

කැප්ටන් ට අවුල් ගියද මට අවුලක් නැත්නම් එය සතුටුදායක මට්ටමේ B ශ්‍රේණියේ හෝටලයකි.

මටත් අවුල් නම් එය සාමාන්‍ය C ශ්‍රේණියේ හෝටලයකි.

asamodagam

ටාසන් හට බඩේ අමාරුවක් සැදුන දිනයක් මතක නැත. ඒ නිසා කිසිදු හෝටලයක් ඉතා අසතුටුදායක ලෙස D ශ්‍රේණියේ වර්ගීකරණය නොවීය. නමුත් කැප්ටන් හට එවැනි වාසනාවක් නොතිබුණි. බොහෝ දිනවල ඔහුට ප්‍රීතීන් සුඛා ආහාරත්ථිඨිකා  යන ගාථා පාඨය අනුව යමින්  දිව්‍ය තල වල වාසය කරන දෙවියකු මෙන් ප්‍රීති සුඛ අහාර කරගෙන වාසය කිරීමට සිදුවිය. අපේ වර්ගීකරණයේ නිවරද්‍ය භාවය ගැන කැප්ටන් ගේ කාමරයේ තිබුන හිස් අසමෝදගම් බෝතල් සාක්ෂි දරනවා ඇත.

ඉලෙක්ට්‍රොනික් අතුරු කතා 1

අපගේ පාසලේ ජාතික ගීය , පාසල් ගීය සහ විදුහල්පති ගේ නිවේදන නිකුත් කරන ලද්දේ කාර්යාලයේ සවි කරන ලද කැසට් රේඩියෝවක් හා ඇම්ප්ලිෆයරක් ආධාරයෙනි. දිනපතා පාසැල ඇරඹීමට පෙර මෙම  උපකරණ පරික්ෂා කිරීම සහ නියමිත සීනු නාදයෙන් පසු ගීත වාදනය හා පසුව නිවේදන නිකුත් කිරීම සඳහා වසරකට වරක් 11 ශ්‍රේණියේ ඉලෙක්ට්‍රොනික් හදාරන සිසුන් කීප දෙනෙකු පත් කරනු ලබයි (මටද එම අවස්තාව හිමි විය). උපකරණ පරික්ෂා කිරීම ලෙස කරනු ලබන්නේ පාසැල ඇරබීමට අඩ පැයකට පමණ පෙර ජනප්‍රිය ඉංග්‍රීසි රේඩියෝ චැනලයක් සුසර කර එය පාසලේ සතර දිග ඇති ස්පීකර වලින් ශ්‍රවනය වන්නේදැයි සොයා බැලීමයි. මෙහිදී දෝෂ සහිත ස්පීකර හමු වුවහොත් ඒවා වහා ගලවාගෙන ඉලෙක්ට්‍රොනික කාමරය වෙත  ගොස් හදිසි සැත්කම් සිදු කරන ලද අතර එහි සාර්ථකත්වය ගැන කිසිවක් නොපැවසීම වඩා සුදුසුය.

මීට අට වසරකට පෙර (2004) දිනක් උදැසන මා ඉනිමගක් මත නැග සිටියේ පාසලේ ප්‍රධාන ගුරු විවේකාගාරයේ දොරට මදක් ඉහළිනි.ඒ දඬුවමක් ලබා නොව, ඒ අසල සවි කර තිබු ස්පීකරය අක්‍රියව ගොස් තිබු නිසාය. මගේ ආරක්ෂාව උදෙසා  ඉනිමග අල්ලා ගෙන පහලිනි සිටියේ පනුවා සහ සේරා ය. එම  ඉනිමග එක මත එක ලිස්සා යා හැකි කොටස් දෙකකින් යුතු ඇලුමිනියම් ඉනිමගකි.ස්වභාවිකවම මම උස් තැන් වලට බියක්දක්වන මම  මෙදින මගේ දෙපයේ වෙව්ලීම හැකි තරම් අවම කර ගෙන ස්පීකරය ගලවමින් සිටියෙමි. මේ අතර අපි ගැන ඉතා හොඳ අවබෝදයක් ලබා සිටි අපේ ඉලෙක්ට්‍රොනික් ගුරුතුමා ආරක්‍ෂිත පියවරක් ලෙස අප කරන කාර්ය දෙස බලා සිටියේ අඩි ගණනක් ඇත සිටය.

කෙසේ හෝ ස්පීකරය ගලවා ගත් මම දනී පනී ගා ඉනිමගෙන් බැසීම ඇරඹුවෙමි. මම පොලවට අඩිය තබනවා සමගම ඉනිමගේ උඩ කොටසින් හඬක් නැගුණි. එසැනින් විවෙකගාරයෙන් පිටතට ආවේ අපේ මනෝ විද්‍යා උපදේශන ගුරුතුමාය. නැවත හඬක් නිකුත් කල ඉනිමගේ ඉහල කොටස සරනේරුවෙන් පිටට පැන කෙලින්ම උපදේශන ගුරුතුමාගේ හිස මතට පතිත වන්නට විය. අනතුර ක්ෂණිකව වටහා ගත් ඔහු වහා පසකට පැන නොගත්තේ නම් සිසුන්ට මනෝ ප්‍රතිකාර දීමට තරම් ඔලුවක් ඔහුට ඉතුරු නොවන්නේය. සිහි එලවා ගත් පසු ඔහු අප දෙස හා ඉනිමග දෙස  රවා බැලු මුත් මුවින් නොබැන යන්නට ගියේ ඉලෙක්ට්‍රොනික ගුරුතුමා අප සමග සිටි හෙයිනි.කෙසේ හෝ ඔහුගේ ඔලුව කෙසේ වෙතත් තව  තප්පර කීපයක් මම ප්‍රමාද විනි නම් මෙම පොස්ටුව ලියන ජනිත් ට සිදු වන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා මෙන්, නගින්න ගිය ඉනිමගෙන් වැටී ඉනිමගත් හිස මතට වට්ටා ගන්නට ය.

මතු සම්බන්දයි

සතුටද ඕනේ ? දුකද ඕනේ?

මේ කතාව මට වෙච්චි දෙයක් නම් නෙවෙයි. හැබැයි සත්‍ය සිදුවීමක්. කිව්වේ කව්ද කියන එක කියන්නෙත් නැ. එකත් රහසක් හොඳේ. මේ කතාවේ කතා නායිකාවට අපි නයෝමි කියමුකෝ. නයෝමි කියන්නේ ආගමට දහමට බොහොම ලැදි තරුණ වයස පහු කරගෙන යන තරුනියක්.ඒ කිව්වේ කසාදයක් එහෙම බැඳලා නැ. අඩුම ගානේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් නැ. ඒ නිසාද දන්නේ නැ හොස්ස ලඟින් මැස්සා යන්න බැ. මැස්සෙක්ට වත් යන්න බැරි එකේ කොල්ලෙක් සෙට් වෙයිද හොස්ස ලඟින් තබා අහලකින් වත් යන්න.

නයෝම් වැඩ කරේ සිරි ලංකාවේ ප්‍රසිද්දම සුපර් මාර්කට් ජාලයේ ඖෂධවේදිනියක් විදිහට. නයෝමි  වැඩකරපු ශාකාවේ මැනේජර් මහත්තයා එයාගේ ලඟම නෑයෙක්. ඉතින් නයෝමිට තරහ ගියොත් ඉතින් පාලනය කරන්න පුළුවන් කමක් එයට තිබුනෙත් නැ. ඉතින් හැමෝම වැඩ කරේ ඉවසීමෙන් සැනසීම කවදා හෝ ලැබෙයි කියලා හිත හදාගෙන.

ඔන්න දවසක් ඇඳිරි වැටීගෙන එන ජාමේ ෆාමසිය පැත්තට එක්තරා මනුස්සයෙක් බොහොම අමාරුවෙන් අවා.

මේ ..මේ ..මේ … සතුට තියනවද? එයා ඇඹරි ඇඹරි බොහොම ලජ්ජාවෙන් ඇහුවා.

මොකක්? (නයෝමිට මල පැන ඇත )

මේ මේ මේ… ස.. ස.. සතුට… සතුට ..

මොනවා? සතුට? යනවා යන්න මෙතනින් මගෙන් මුකුත් අහගන්නතුව . නැත්නම් මම තමුසෙට දෙන්නේ සතුට නෙවෙයි , දුක!!! 

ප.ලි.

දැන් නම් නයෝමි විවාහකය. එබැවින් පෙර තරම් තරහ යන්නේ නැත. පාඨකයන් එම නිසා සුපිරි වෙළඳසල් වර්ජනය කිරීමෙන් වලකින්න.

ඊ.ප.ලි.

සත්‍ය සිදුවීමකි. නම් ගම් පමනක් මනක්කල්පිතය.

%d bloggers like this: