මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Posts tagged ‘අත්දැකීම්’

අගෝස්තු 25

ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?

උගුරේ පොඩි ආසාදනයක්  ඇවිත් කන්න බොන්න කතා කරන්න අමාරු වෙලා හිටපු මොහොතක ලැබුන බරපතළ අනතුරු ඇඟවීමක් ඒක. මොකද එකට හේතුව විදිහට පහුගිය දවස් වල සෙල්ලම් දදා හිටපු තරමක් විෂ (තරමක් කිව්වට ඊට වඩා ටිකක් විතර වැඩි ) රසායනික සංයෝග කීපයක් ශරීරගත උනාද කියලා ගැන සැක ඇතිවීම. මුලදී නම් හිතුනා මැරුණත් කමක් නෑ කියලා. මොකද මැඩම් කියුරි  මගේ වීරවරියක්. නොබෙල් තෑග්ග භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකටම ලබා ගත්ත එකම විද්‍යාඥයා ඇය පමණයි. හැබැයි බඩගින්නේ තරමට කෑම ගිල ගන්න අමාරු වෙද්දී එක්කෝ නොබෙල් තෑග්ගත් ඕන නෑ කියලා හිතුනා.

IMG_1563

මේ සිද්දිය උනේ ගිය 25. ඒ කියන්නේ ජනිත් ගේ  උපන්දිනේ දවසේ. අගෝස්තු 25 දවසේ වැදගත්කම ගැන ගුගල් දෙය්යා ගෙන් බැලුවම මට පෙනිච්ච දෙයක් තමයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ගණනාවක් ම එදාට ඉපදිලා…, අනේ නෑ ඉපදිලා නෙවෙයි මැරිලා තියෙන දවසක් වීම. අනික් විශේෂත්වේ මේ මියගිය විද්‍යාඥයෝ ගොඩක් අය ජනිත් ගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් වීම.

ජනිත් ගේ ප්‍රධාන විනෝදාංශයක් වෙන තාරකා විද්‍යාවේ වැදගත් පුද්ගලයන් දෙන්නෙක් මිය ගිහින් තියෙන්නේ අගෝස්තු 25. එක්කෙනෙක් තමයි අපේ චන්ද්‍රයාට ඉස්සලම පයගහලා තියන නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඔහු මියගියේ 2012 අගෝස්තු 25. අනිත් කෙනා තමයි 18 වෙනි සියවසේ හිටපු විශිෂ්ඨතම තාරකා විද්‍යාඥයා වෙච්චි විලියම් හර්ෂල්. සෞර ග්‍රහ මණ්ඩලේ හත්වෙනි ග්‍රහයා වුන යුරේනස් ඔහුගේ ප්‍රධාන සොයාගැනීමක්. මීට අමතරව සෙනසුරුගේ චන්ද්‍රයන් වුන මීමාස් හා එන්සේලාඩස් (එන්සේලාඩස් හරි වැදගත්. මාතර ඇරුනම හුම්මානය දකින්න ලැබෙන්නේ මුළු සෞර ග්‍රහ මණ්ඩලේන්ම එහෙ විතරයි) වගේම යුරේනස් ගේ ටයිටානියා සහ ඔබරෝන් ඔහුගේ සොයා ගැනීම් වෙනවා. ඔහු මියගියේ 1822 අගෝස්තු 25.

විද්‍යුතය හා රසායන විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් රැසක් කරපු මයිකල් ෆැරඩේ මැරිලා තියෙන්නේ 1867 අගෝස්තු 25. විදුලි මෝටරය, ඩයිනමොව, හා විද්යුත් විච්චේදන මූලධර්ම වලට අමතරව දන්නවද බෙන්සීන් හොයා ගත්තෙත් ඔහු බව?

විකිරණශීලීතාවය හා ප්‍රකාශ විද්යුත් ආචරණය සොයාගත් හෙන්රි බෙකරල් මියගියේ 1908  අගෝස්තු 25. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභියකු වුන බෙකරල් ගේ නොබෙල් ප්‍රකාශ විද්යුත් ආචරණය පසුකාලයේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය වෙත පදනම දැමුවා.

තව සැහෙන ගාණක් හිටියට දැනට ඔය ඇති. අනේ අගෝස්තු 25 උපන්දිනේ සමරන දන්න අඳුරන විද්‍යාඥයෙක්ට ඉන්නේ හැන්ස් ක්රෙබ්ස් විතරයි. අර ස්වායු ශ්වසනයේ ට්‍රයිකොබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියාව එහෙම නැත්තන් ක්රෙබ්ස් චක්‍රය හොයා ගත්ත කෙනා. එත් කමක් නැහැ. එයත් නොබෙල් තෑග්ග දිනපු කෙනෙක්.

ප.ලි. “මගෙත් කැමතිම විෂය තමයි chemistry” මගේ රෝග ඉතිහාසය අහල බෙහෙත් ලියන ගමන් අපේ දොස්තර නෝනා කිව්වා. 😀

සුරාවේ අගේ..

දිනය: 07/03/2013

වෙලාව: රාත්‍රී 7.30

ස්ථානය: මධ්‍යම බස් නැවතුම්පල පිටකොටුව

මහනුවර බසයේ වැඩි සෙනගක් නැත. මට අසුනක් ඉදිරියෙන් තිබුන හිස් ආසනයට අයකු ගොඩවූයේ පියවි සිහියෙන් නොවේ. මිනිත්තු කීපයක් තුල පොරගේ කන සාක්කුවේය. ටික වෙලාවකින් හොඳ සිහියෙන් සිටි බුවෙක් ද එම අසුනේ හිඳගත්තේය. දැන් බීගත් බුවා (අපි BB යයි හඳුන්වමු) වෙරි පිටම අනිකා ගේ කරට හේත්තු වෙයි. නැවත ජනේලෙට හේත්තු වෙයි. ඔය අතර කොන්දයියා එයි. එයි ටිකට් ටිකට්.. ඔහු කීපවරක්‌ විමසුවද BB ගෙන් ප්‍රතිචාරයක් නැත. මොකද්ද කීවද එය නොතේරෙයි. කොන්දා බලෙන්ම මුදල් ගෙන නුවරටම ටිකට් එකක් ලබා දෙයි (අමතරව කනේ පාරක් ද බෝනස් ලෙස දුන්නේ BB ගේ අසල්වැසි මගියා විසිනි).

Man-drinking-alcohol

වෙලාව: රාත්‍රී 11.15

ස්ථානය: බස් නැවතුම්පල කඩුගන්නාව

BB ගේ අසල්වැසියා මාවනැල්ලෙන් බැස ගොස් ය. එමනිසා මුළු අසුනේම ඔහු දිගා වී සිටින්නේ ඔලුව බිමට හිටින සේ ය. කඩුගන්නාවෙන් බසයට නගින තව බුවෙක් ඇති තරම් හිස් සීට් තිබුනද BB අසලට විත් ඔහු කෙලින් කර එතන හිඳ ගනී.

මල්ලී ඔයා කොහෙටද යන්නේ?”

ඔහු විමසයි. මේ වනවිට ශරීරගත මද්‍යසාර සාන්ද්‍රණය තරමක් දුරට අක්මාවෙන් විෂහරණයට ලක්ව ඇති සේය.

එගොඩඋයන ට” කියන ඔහු නැවත කන සාක්කුවට දා ගනී.

බලන්න මල්ලී පවු නේද?

අලුත් බුවා අපට බණ ටෝක් එකක් දී BB තම උරහිසට වත්තම් කර ගනී. මගේ පපුව හෝස් ගා ඇවිලෙයි. ශා මෙහෙමත් කරුණාවන්ත අයියලා මේ රටේ කොච්චර ටික දෙනෙක් ද ඉන්නේ. මගේ චින්තන ධාරාවට බාධා ඇති වන්නේ මට ඉදිරිපස අසුනේ සිටි කෙනා ගේ කෑ ගැහිල්ලෙනි.

“අඩෝ.. මොකද තමුසේ ඔය බීපු එකාගේ සාක්කුවට අත දාන්නේ?”

අලුත් බුවා හොල්මන් වෙයි. කොන්දය්යා ට යකා නගී. “තමුසේ වෙන තැනක ගිහින් වාඩි වෙනවාද නැත්තම් පොලීසියට අල්ලලා දෙන්නද?”

මම හොරෙක් නෙවෙයි. මේ මනුස්සයා පවු. මමත් බස් ඩ්‍රයිවර් කෙනෙක්.

මට තමුසේ කවුරු උනත් කමක් නෑ ඔයි . මේක මගේ බස් එක. ඒ මිනිහා නුවරට ටිකට් අරන් ඉන්නේ.

කොන්දා ගේ එම ටෝක් එකට අලුත් බුවා ශේප් එකේ වෙන තැනක හිඳ ගනී. ඔයින් මෙයින් බසය නුවරටම ඇවිත් ය. මම බැස ගත්තෙමි. ඒ වන විට වෙලාව රාත්‍රී 11.40 ය. දැන් එය සිදුවී පැය 24 වඩා ගතවී ඇත. මේ වන විට BB නැවත සුව සේ එගොඩඋයනට පියවි සිහියෙන් නැවත ලඟා වී ඇතැයි මම සිතමි.

alcohol_cartoon

පසු වදන (බුදු වදනිනි)

උපුටා ගැනීම  ආගිය කතා බ්ලොගියෙනි .

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති

දීනා සදා ව්‍යසන රෝග පරායනා ච

ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා

පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා

නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නාහ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ

ජනිත්ට එලොවින් ආ ලියුම

එලොව ගිහින් මෙලොව ආවා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ගේ වේදිකා නාට්‍යකි. එලොව සිට පැමිණියා යයි කියන හිඟන්නකු කළු හාමි නම් මෝඩ ගැමියකු රවටා ඔහුගේ මුදල් අබරණ මෙන්ම අශ්වයාද රැගෙන පලා යාම මෙහි කතා සාරය ලෙස දැක්විය හැක. මෙන්න එහි කොටසක් මතකය අලුත් කර ගන්නට.

මහාචාර්ය සරත්චන්ද්‍ර

මහාචාර්ය සරත්චන්ද්‍රයන්

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න හැට්ට රෙද්ද උජාරුවට අස්සය පිට නැග යනකොට දකින දකින අය කියාවි ආං යනව ‘කළුහාමිගෙ දූ’යි කියල ‘කළුඅප්පුගෙ දූ’යි කියල කනකර බඩු දුන්නෙ කවුද ‘කළුහාමියි දුන්නෙ ඒව’ සුදු අස්වය දුන්නෙ කවුද ‘කළුඅප්පුයි දුන්නෙ ඌව’ අම්ම දුන්න කනකර බඩු අප්ප දුන්න සුදු අස්වය රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න හැට්ට රෙද්ද උජාරුවට අස්සය පිට නැග යනකොට දකින දකින අය කියාවි ආං යනව ‘කළුහාමිගෙ දූ’යි කියල ‘කළුඅප්පුගෙ දූ’යි කියල…

මෙන්න මෑන්

මෙන්න මෑන්

මෙබඳු හිඟන්නන් මෙන්ම කළු හාමිලා ද අදටත් අඩුවක් නොමැතිව සොයා ගත හැකිය. පසුගිය දිනක 138 බසයේ  යමින් සිටියදී ජනිත් ගේ අතටද එලොවින් ආ ලියමනක් ලැබුණි. මේ එම ලියමනයි. (අකුරු අපැහැදිලි නම් රුපය මත ක්ලික් කරන්න)

හිඟන්නා ගේ පියා පරලොව සිට එවූ ලිපිය

හිඟන්නා ගේ පියා පරලොව සිට එවූ ලිපිය

බලන්න පවුලේ අසරණ භාවය ගැන එලොව සිටින පියා දන්වා ඒවා ඇති අපූරුව. කළු හාමී වේදිකාව මත රැවටෙන රැවටීමම, ජීවන රංගභූමිය මත සිදුවෙන විට එය වටහා ගැනීමට තරම් විචාර බුද්ධිය අපේ පොදු ජනතාවට පහල වේවා යන්න මගේ පැතුමයි.

%d bloggers like this: