මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Posts tagged ‘චාරිකා’

දඹුල්ලේ මතක..

දඹුල්ල නගරයට ගිය මට හදිසියේම දඹුලු විහාරය වෙත යාමේ සිතක් පහල විය. මීට පෙර අනන්ත වරක් දඹුල්ල මාර්ගයේ ගමන් කලද කිසි දිනක මම දඹුලු විහාරේ අසිරිය නරඹා නොතිබුණි. මිනිස් සිතේ හැසිරීම මහත් පුදුමාකාරය. මට දඹුලු යාමට සිතුනේ සිහිබුද්ධිය ඇති සැදැහැතියකු වන්දනාවේ නොයන ගිනිගෙන දැවෙන මද්දහනේ හිරු රශ්මිය හමුවේ දුම් පිටවන තරමට තරමට දඹුලු ගල රත් ව තිබුණු අවස්ථාවකය.

දඹුල්ලේ ඉතිහාසය ප්‍රාග් බෞද්ධ යුගය තෙක් දිව යයි. මෙහී මුල්ම ලෙනේ ඇති බ්‍රාහ්මි අක්ෂර සහිත ලිපිය ඊට හොඳ සාධකයකි. ශත වර්ෂ විසි දෙකක පමණ ඉතිහාසයක් සහිත වුවද දඹුල්ලේ වර්තමානයේ පවතින බොහෝ චිත්‍ර සහ මුර්ති නිමවනු ලැබුවේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දිය. 1991 වසරේ රන්ගිරි දඹුලු රජ මහා විහාරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මේ විහාර භූමියට ඇතුළු වන විටම දකින්නට ලැබෙන ස්වර්ණමය දාගැබ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.

 

දඹුල්ලේ සිතුවම් බලන්නට නම් ලෙන් විහාරය වෙත යා යුතුය. මම පතන සීග්‍රතාවය ගැන සිහි කරමින් දැඩි උණුසුම අමතක කර හිත රවටා ගමන  ඇරඹුවේමි. මුහුදු මට්ට්මේ සිට ඉහලට යනවිට උසට සමානුපාතිකව සිදුවන උෂ්ණත්වය පහල බැසීම සිදුවේ. සාමාන්යෙන් මෙහි අගය අඩි දහසකට කෙල්වින් 1.98 පමණ වෙයි. එම නිසා දඹුල්ලේ මුදුනටම ගියද එතරම් වෙනසක් දැනෙන්නේ නැත. පතන සීග්‍රතාවය  ඉතා පැහැදිලිව අත්දැකිය හැක්කේ රිටිගල දීය. වියලි කලාපයේ පිහිටා තිබුනද රිටිගල කඳු මුදුනේ තුරු ලතා නිවර්තන තෙත් වනාන්තරයකට වඩාත් සමීප ලක්ෂණ දරයි.  වංගුවකින් හැරෙන විටම…. හපොයි… මේ මොකද්ද මේ වෙන්නේ?

අඩි පාර හා ලඳු කැලෑව අතර ගලක් උඩ ප්‍රේමණීය ජවනිකාවකි. හරියට මේ ගීතයේ මෙනි.

පෙම්වතා : සුසුදු හංසයෝ විලෙහි සරති  – රසය ඇති තැන් කොහෙද සොයති

පෙම්වතී : දෑත විහිදා එන්න අඳුරේ – උන්ව අල්ලා ගන්න මිහිරේ

එකම වෙනස කාලය පමණි. සිද්දිය ගීතයේ කියවෙන ලෙස අඳුරේ වෙනුවට මහා දවල් සිදුවේ . පෙම් යුවල සිදු කල කාර්ය මොහොතකට  නතර කර (මට සිතින් බනිමින්) බිම බලා ගන්නා අතර මම වහා කිසිත් නොදැක්කා සේ උඩ බලාගෙන (ඔවුන්ට සිතින් බනිමින්) උපරිම වේගයෙන් ගමන් ගනිමි. ඔන්න අන්තිමේ මුදුනටම ආවා.

Copy of DSC01448

මහනුවර යුගයේ චිත්‍ර තුල පැරණි මිසර හා ග්‍රීක චිත්‍ර වලට නෑකම් දක්වන ලක්ෂණ පවතී. මෙහි සම්භවය ගැන මත දෙකකි. එකක් නම් දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන් ගෙන් අභාෂය ලැබුවක් බවයි. අනික නම් මෙය සියම් දේශයෙන් මෙරටට හඳුන්වා දුන් බවයි. (විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)

දඹුලු චිත්‍ර වල විශේෂිතම ලක්ෂණය සම්ප්‍රදායික ජාතක කතා වලට අමතරව විජයාගමනය, දුටුගැමුණු එළාර යුද්දය වැනි ඉතිහාස කතාද සිතුවම් කර තිබීමයි. දඹුලු විහාරයට විශාල අනුග්‍රහයක් දැක්වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පිළිරුවක් ද මෙහි දැකිය හැක.

Copy of DSC01455

දඹුලු මුදුනේ සිට අවට පරිසරය ගැන ද යමක් නොකීයාම බැරිය. සැතපුම් ගණනක් ඈතට විහිදී යන තැනිතලාව ලස්සන දර්ශනයකි.

Copy of DSC01456

අඳුරගන්න පුලුවන්ද මේ රවුම් කරලා තියෙන කඳු මොනවාද කියල?

Copy of DSC01458

දැන් නම් අදුරගන්න පුළුවන් වෙයි.ඔය  4x විශාලනය  කරලා. මේ සීගිරියයි පිදුරන්ගලයි දඹුල්ලට පේන විදිහ.

තවම ෂුවර් නැත්නම් පින්තුරේට ක්ලික් එකක් දාල ලොකු කරලා බලන්නකෝ.

 DSC01459

හරි. අදට පොස්ට් එක ඉවරයි. අන්තිමට කියන්න තියෙන්නේ හැමෝටම සුභ නව වසරක් වේවා කියලයි. 😀

 

බස් එකේ අතවරය (17+ )

බස් වල සිද්ද වෙන කාන්තා හිංසනය කියන්නේ බ්ලොග් අවකාශේ වගේම අනික් තැන් වලත් කතා වෙන බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් නේ. මේ කියන්න යන්නේ ඊට වඩා ටිකක් විතර වෙනස් කතාවක්.

මේ සිද්දිය සිද්ද උනේ ගිය අවුරුද්දේ මම කැම්පස් ඉඳං ගෙදර එන දවසක. මම සාමාන්යෙන් මාතර ඉඳං මහනුවරට එන්න පිටත් වෙන්නේ රැ ජාමේ. ඒකාලේ දැන් වගේ හයිවේ තිබුනේ නෑ නේ. දවල් ට්‍රැෆික් එකත් එක්ක ගමන පිටත් උනොත් මුළු දවසම යනවා. ආසන්න විදිහට පැය නවයක්  හෝ ඊට වඩා (නෝමල් බස් එකේ හරිද. ඉන්ටර්සිටියේ ගිහින් කොහොමද  මහපොලෙන් ජීවිතේ ගැට ගහගන්නේ..D) . හැබැයි රැ පිටත් උනොත් පැය හයකින් විතර එන්න පුළුවන්. නුවර මාතර කෙලින්ම යන්න පුළුවන් බස් දෙකයි තියෙන්නේ. එකක් තමයි මාතර මාතලේ බස් එක . අනික තමයි මහනුවර වලස්මුල්ල බස් එක.

MTC_6342 Sri Lanka

අදාල දිනේ මම මාතර ඉඳං ආවේ මාතර මාතලේ බස් එකේ. ඒක සෙමි ලක්සරි බස් එකක්. ඕක මාතර ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙන්නේ හවස හතයි කාලට විතර. මම ඉඳගෙන හිටියේ බස් එකේ පිටිපස්සේ සීට් එකේ ජනේලේ ළඟ. (පෙම් මුල්ල කියන්නේ එතනට නේද? )  සාමාන්‍යයෙන් මේ බස් එක කොළඹට එනකන් ලෝඩ් වෙන්නේ නෑ. ඉතින් ගාල්ලට එනකන් පිටිපස්සේ සීට් එකේ හිටියේ මමත් එක්ක තව එක්කෙනෙක් විතරයි. ගාල්ල පහුවෙලා බුස්ස කඳවුර ලඟින් ඔන්න ආමි පෙනුමක් තිබුණ හාදයෙක් බස් එකට නැග්ගා. ආමි පෙනුමක් කියලා මම කිව්වේ කොන්ඩේ කොටටම කපලා ලොකු ට්‍රැවලින් බැග් එකක් පිටේ එල්ලං හිටි නිසා. එයා ඉඳගත්තේ මං ලගින්.

හෝල්ට් දෙකක් යන්න ලැබුනේ නෑ මිනිහා කුම්භකර්ණයා වගේ නිදි. මේ වෙනකොට බස් එකේ වේගේ සීය පන්නලා තිබුනේ. හුලං පාර දරන්න අමාරු නිසා මම ජනේලේ වැහුවා. ඔන්න එක පාරට බස් එක ලොකු බ්රේක් පාරක් ගැහුවා. එත් එක්කම ආමි අය්යා ඉස්සරහට විසි වෙලා පිටිපස්සේ දොරයි සීට් එකයි අතර තියන තහඩුවේ “ඩොන් “ ගාල ඔලුව වද්දා ගත්තා. මිනිහගේ නිදිමත කොච්චරද කියනවා නම් ඒක පොඩ්ඩක් වත් ගානක් නැහැ. අයෙත් හරි බරි ගැහිලා නිදි. සමහර විට නයිට් ඩියුටි ඉඳලා වෙන්න ඇති එන්නේ.

SANYO DIGITAL CAMERA

ඔන්න බලපිටිය හරියෙන් තව කෙනෙක් බස් එකට නැග්ගා. වයස පනහ පැනපු සුදු සරමයි ෂර්ට් එකයි ඇඳ ගත්ත ඇඳුම පුරා බුලත් කෙල කහට බැඳිච්ච අපිරිසුදු ඩයල් එකක්. මිනිහත් ආවේ පස්සේ සීට් එකට. එයා ආමි අය්යට එහා පැත්තෙන් ඉඳ ගත්තා.

ඔන්න ටික වෙලාවකින් එයත් නිදි කිරන්න පටන් ගත්තා. හැබැයි මිනිහා නිදි කිර කිර ටිකෙන්  ටික ආමි අය්යා පැත්තට බර වෙනවා. ඕකත් සාමාන්‍ය දෙයක් නිසා මම වැඩිය ගණන් ගත්තේ නෑ. මෙන්න බොලේ ඊට පස්සේ මෑන් ඒක අතක් ආමි අය්යාගේ කරට දාල අනිත් අත ටික ටික උකුල පැත්තට ගෙනියනවා. ඔය අතරේ මම ෆුල් හොල්මන් වෙලා මොකද යකෝ මේ වෙන්නේ කියලා. ආමි අයියා වැඩේට මුකුත් අකමැත්තක් නැහැ කියලා හිතපු මෑන් ඔන්න ඒ පාර අය්යා ගේ අහවල් හරියට මසාජ් පාරක් දෙන්න පටන් ගත්තා. තද නින්දේ ඉන්න ආමි අය්යත් පොඩි සද්දයක් දාල සප් එක දෙනවා . මේ මොකද්ද මේ වෙන්නේ? එක්කෝ මේ යකාත් අරූ ගේ ටයිප් එකේම එකෙක්. එහෙම නැත්නම් අර ඩෙස්මන්ඩ් මොරිස් අන්කල් කිව්වා වගේ එයාට නිල් හීනයක්‌ වත් පෙනුනා වෙන්න ඇති.

1211998271-unavngivet1

තවදුරටත් මේක බල බලා ඉඳලා හරි යන්නෑ. එත් මම මොනවා කරන්නද? හරි ආවා අයිඩියා එකක්. මෙච්චර වෙලා වහලා තිබුණා ජනේලේ මම ෆුල් ඇරියා. බස් ඒක සීය පන්නලා යන නිසා එකපාරටම හුලං පාර ආවා නිකං සැන්ඩි කුණාටුව ගැහුවා වගේ. හුලං පාර වැදුනා විතරයි ආමි අයියා දඩි බිඩි ගාල ඇහැරුනා. ඔය අතරේ අර මැන් දෑත බදලා ගේම දෙනවා. ආමි අය්යට සිහි එලව ගන්න තප්පර දෙක තුනක් යන්න ඇති. ඒක පාරටම ආමි අය්යා නැගිටලා අරූ ගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා දැම්මා නිකං ජෝන් සීනා ගේ ලොකු අය්යා වගේ. මිනිහා සීට් දෙක තුනක් පහු කරලා වීසි වෙලා ගිහින් බිම වැටුනා. ඊට පස්සේ අමාරුවෙන් නැගිටලා පොඩි හිනාවක් දාලා බසේ එකේ ඉස්සරහට ගියා. සිද්දිය දිහා රබර් ඇහැ දාල බලාගෙන හිටපු මම ඉක්මනට ජනේලෙන් එලිය බලා ගත්තා. ආමි අය්යා වටපිට බලලා සිද්දිය කව්රුත් දැක්කේ නැහැ කියලා හිතාගෙන ආයෙත් ගොරව ගොරව නිදා ගත්තා.

මට හිතුනේ එක දෙයයි. සමාජේ එක එක ජාතියේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ අතරේ ඉන්න කොට තමන් පිරිමියෙක් උනත් කාන්තාවක් උනත් ටිකක් පරිස්සමින් ජීවත් වෙන එක නුවනට හුරුයි.

%d bloggers like this: