විද්‍යා විශයට ලොකු අභිප්‍රේරනයක් ඇති වෙන්න හේතු වෙච්චි පොතක් ගැන තමයි අද කතාව. ඒ තමයි අනුර සී පෙරේරා මහත්මයාගේ විද්‍යා විනෝදය.

අපේ ඉස්කෝලේ තෑගි උත්සවේට සුදුසුකම් ලැබුවොත් අපිට අවස්තාව ලැබෙනවා තෑග්ගට හම්බෙන පොත තෝරගන්න. ඒක කෙරෙන්නේ තෑගි උත්සවේට ටික කාලෙකට කලින් තියන පොත් ප්‍රදර්ශනේදී. මට මතක විදිහට ඒ කාලේ රුපියල් පනහක් ඉස්කෝලෙන් අපිට ලැබෙනවා. පොතේ මිල ඊට වැඩි නම් ඒ ගාන අපි ගෙවන්න ඕන. ඉතින් අතින් රුපියල් 100 ගෙවලා තමයි ඒ කාලේ රුපියල් 150 වෙච්චි මේ පොත තෑගි හම්බුනේ. ඔය පොත දැකපු ගමන් ගන්න තව හේතුවක් තිබ්බා. ඔය පොතේම නිවුන් සහොදර පොතක් වෙච්චි විනෝදයෙන් විද්‍යා දැනුම කියන් පොතයි, විද්‍යා විජ්ජා කියන පොතයි මම කලින් කියවලා තිබ්බා. විද්‍යා විජ්ජා පොත මට කවදාවත් කඩේක තිබිලා හම්බුනේ නෑ. මට මතක විදිහට ඒක පුස්තකාලෙන් ගත්තා හෝ යාලුවෙක් ගෙන් ඉල්ලගෙන බැලුවේ. ඔය පොත කොච්චර හිතට ඇල්ලුවාද කිව්වොත් මාම ඒකේ හිත ගිය පරීක්ශන ඔක්කොම වෙනම පොතක ලියලා තියා ගත්තා.

මේ පොතේ තියන හිතගිය පරීක්ශන ගොඩක් මම ගෙදරදී කරලා බලලා තියනවා. සමහර පරීක්ශන නම් කොච්චර සිත්ගන්නා සුලු උනත් එච්චර ප්‍රායෝගික නෑ. උදාහරනයක් විදිහට මේකේ තියන රොකට්ටුවක් ගුවන් ගත කරන පරීක්ශනය කරන්න වෙඩිලුනු සහ ගෙන්දගම් හොයා ගන්න පුලුවන් උනේ නෑ ඒ කාලේ තිබුන යුධ තත්වේ නිසා. ඒ වගේම මේකේ තියන රසායනික මල්වත්ත හදන්න ඕන වෙන කිසිම රසායනිකයක් හොයා ගන්න ලැබුනේ නෑ ඒ කාලේ.

ඔයිට අමතරව හරියකට හදාගන්න බැරි නිසා අසාර්තක වෙච්චි පරීක්ශනත් ගොඩයි. මේකේ එක තැනක තියනව කෘතිම හඳක් අහසේ රඳවන පරීක්ශනයක්. ඒකේදී විදුලි මෝටරයකින් බමරයක් කරකවලා ආවරනයකින් හුලං පාර උඩට හරවලා පිංපොං බෝලයක් පා කරන එක වෙන්නේ. ඕක කවදාවත් මට හරියට හදාගන්න හම්බුනේ නෑ. මීට අමතරව ආදර්ශ වායුපායානය, ගෙදරදී හදන විදුලි බල්බය, ටෙලිග්‍රාෆ් යන්ත්‍රය, බිත්තර කටු වාශ්ප එන්ජිම, වගේ පරීක්ශන ගොඩක් දැනුම මදිකම නිසා හරියට කරන්න ලැබුනේ නෑ.
හැබැයි හරිගිය පරීක්ශනත් ඕන තරම් තියනවා. මේකේ තියන සබ්මැරීන් ආදර්ශනේ මම ටෙස්ට් කරේ ගෙදර ලිඳේ. ඒක වැඩ කරා. ඊට පස්සේ මොඩිෆයි කරලත් ගත්තා පොතේ විදිහට නැතුව සිරිංජෙකින් සබ්මැරීන් එකට හුලං පොම්ප කරන්න. මීට අමතරව හයිඩ්‍රජන් හදලා බැලුන් උඩ යවන වැඩේ මුලින් අසාර්තක උනත් පස්සේ සාර්ථක උනා. මේකේ තියන බොහොම ආකර්ශනීය පරීක්ශනයක් ඒක. මොකද ගොඩදෙනෙක් හයිඩ්‍රජන් හදනේ දෙහි වලට ලෝහයක් දාලා. මේකේ ඒ වෙනුවට ඇලුමිනියම් වලට උනු වතුරේ දිය කරපු කෝස්ටික් සෝඩා එකතු කරන්න කියලා තියෙන්නේ. බොහොම ප්‍රබල ප්‍රතික්‍රියාවක් වෙන ඒකෙන් ලේසියෙන්ම බැලුමක් උඩයවාගන්න හයිඩ්‍රජන් හදාගන්න පුලුවන්. ඔය අතරේ අපේ දැඟලිල්ලට කෝස්ටික් සෝඩා කකුල් වල හලාගෙන කකුල් පැලිලා ගියා. වතුරේ පෘශ්ථික ආතතිය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ඉබේ දුවන බෝට්ටුවත් වැඩ කරා. ගෙදරදීම දේදුන්නක් හදන පරීක්ශනෙත් බොහොම පහසුවෙන් කරගන්න පුලුවන් උනා.

ගොඩ කාලෙකට පස්සේ මේ පොත ලියපු අනුර සී පෙරේරා මහත්තයා මට ඇත්තටම හම්බවුනා 2017 අවුරුද්දේ විතර. එතුමා මලියදේව විද්යාලයේ තාරකා විද්යා රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගී උනා. ඒ වෙලාවේ එතුමා ගේ පොත ගැන සඳහන් කරලා ඔහුට ස්තූති කරන්න මම අමතක කරේ නෑ.